March 1, 2026

ඕමානයේ මසන්දම් වෙරළට නාවික සැතපුම් පහක් පමණ දුරින් තෙල් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ බව එරට සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසයි.

ප්‍රහාරයෙන් පුද්ගලයන් හතරදෙනකු තුවාල ලබා ඇති අතර 20 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම ඉන් ඉවත් කරන ලද බව වාර්තා සඳහන් කරයි.

“ස්කයිලයිට්” ලෙස හැඳින්වූ මෙම නෞකාව බටහිර පැසිෆික් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන පලාවු හි ධජය යටතේ යාත්‍රා කෙරේ.

“සමුද්‍රීය සිදුවීම් සමඟ කටයුතු කිරීමට ජාතික සූදානම පිළිබිඹු කරමින්” ඕමාන් නාවික හමුදාව විසින් ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකළ බව සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පැවසීය.

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම අරමුණු කරගත් ඉරානය සහ එක්සත් ජනපදය අතර මෑත කාලීන සාකච්ඡා සඳහා මැදිහත්වීමේදී ඕමානය ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත.