May 25, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. රහීම් අලි සබ්රි මීට පෙර අවස්ථා හයකදී පමණ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ආකාරයෙන් රත්තරන් ඇතුළු භාණ්ඩ රටට ගෙනැවිත් තිබෙන බවට රේගුවට තොරතුරු ලැබී ඇතැයි ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, මන්ත්‍රිවරයා රුපියල් කෝටි හතකට අධික රත්තරන් සහ ජංගම දුරකථන මෙරටට ගෙනැවිත් ඇත්තේ කිසියම් අයකුගේ හෝ කණ්ඩායමකගේ කොන්ත්‍රාත්තුවකට බවටද රේගු නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

මෙලෙස රත්තරන් බඩු සහ ජංගම දුරකථන රැගෙන ආ පසුව මන්ත්‍රිවරයාට කොන්ත්‍රාත්කරුවන්ගෙන් විශාල මුදලක් ලැබෙන බවද රේගුවට තොරතුරු ලැබී ඇත.

මන්ත්‍රිවරයාට රේගුව විසින් රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කර මන්ත්‍රිවරයා රැගෙන ආ රත්තරන් සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට කටයුතු කරන ලදි.

ගුවන් මගින් මෙලෙස රට තුළට රත්තරන් ඇතුළු භාණ්ඩ රැගෙන එන පුද්ගලයන්ට රේගුව විසින් දඩ මුදල් නියම කිරීමෙන් පසුව, සාමාන්‍යයෙන් එම පුද්ගලයන් දඩය නියම කරන ලද අවස්ථාවේදීම දඩ මුදල් නොගෙවූවද, මන්ත්‍රිවරයා එම දඩය පෙරේදා (24 වැනිදා) රාත්‍රී කාලයේම ගෙවා පිටව ගිය බව රේගු නිලධාරීහු පවසති.

දඩ මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ නම් රේගුව විසින් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනු ලබන්නේය.

මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රේගු නිලධාරීන් ඒ සම්බන්ධව කථානායකවරයා දැනුවත් කර ඇත. කෙසේ නමුත්, මන්ත්‍රිවරයා සහ රත්තරන් ඇතුළු භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් රේගුවට යම් යම් බලපෑම් එල්ල වූ බවද රේගු ආරංචි මාර්ග කියයි. මන්ත්‍රිවරයා රැගෙන ආ රත්තරන් ඇතුළු භාණ්ඩ සම්බන්ධව සහ ඔහු ක්ෂණිකව දඩ මුදල ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් රේගුවෙන් තොරතුරු ලබාගෙන විමර්ශන කටයුතු සිදුකරන බවද පැවසේ.