September 28, 2026

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අහස ටීවී (AhasaTV) නාලිකාවේ මංගල විකාශය නුදුරේම දියත් කිරීමට නියමිතව ඇත.

අලුතින් ආරම්භ වන මෙම නාලිකාවේ සන්නාමය ජනගත කිරීමෙන් අනතුරුව අද(28) පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් අනාවරණය කෙරිණි.

සීමාවන්ගෙන් තොර වූ ගුණාත්මක ජනමාධ්‍ය කලාවක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම මෙම නාලිකාවේ මූලික අරමුණ මෙම ජනමාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

අපක්ෂපාතීත්වය, සත්‍යය, නිරවද්‍යතාව සහ පූර්ණ විනිවිදභාවය පෙරදැරි කරගත් වඩාත්ම විශ්වසනීය තොරතුරු මූලාශ්‍රය වෙමින් ප්‍රේක්ෂකයන්ගේ හෘදසාක්ෂියේ ප්‍රකාශකයා බවට පත්වීම නාලිකාවේ අනාගත දැක්ම බව එහි කළමනාකාරීත්වය සඳහන් කරයි.

එසේම, දේශීය සංස්කෘතික අනන්‍යතාව හා ආචාරධාර්මික අගනාකම් සුරකිමින් අතිනූතන තාක්ෂණය මුසු වූ උසස් ප්‍රමිතියේ නිර්මාණශීලී වැඩසටහන් පෙළක් ඉදිරිපත් කිරීමටද නාලිකාව සැලසුම් කර ඇත.

සාම්ප්‍රදායික ගතානුගතික ජනමාධ්‍ය රටාවෙන් මිදී, නාලිකාවේ කළමනාකාරීත්වයේ සිට සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාව දක්වා එකම පවුලක් ලෙස යා කරන “අපි හදවතින් ම සතුටින්” යන තේමා පාඨය යටතේ රසවත් මෙන්ම හරවත් මාධ්‍ය සංස්කෘතියක් අත්විඳීමට ‘අහස ටීවී’ නාලිකාව ලාංකිකයන්ට ඇරියුම් කර සිටියි.

‘රතු ඉර’ පුවත්පත සහ ‘ELEVARE’ සඟරාව ප්‍රකාශයට පත්කරන බිස්නස් මීඩියා ඉන්ටර්නැෂනල් සමූහය ‘අහස ටීවී’ හි හිමිකාරීත්වය උසුලන අතර, එහි සභාපතිනිය ලෙස සබීතා හෙට්ටිආරච්චි කටයුතු කරයි.

සන්නාමය ජනගත කිරීමේ මාධ්‍ය හමුව සඳහා AVG සමූහයේ සභාපති නිලංග කරුණාරත්න, ප්‍රධාන විධායක නිලධාරී අජිත් රණසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉංජිනේරු නිලූප රණවීර, ප්‍රධාන අන්තර්ගත නිලධාරී සහ නාලිකා ප්‍රධානී ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, ප්‍රධාන ආදායම් නිලධාරී කිෂෝ විතානච්චි මෙන්ම ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු ප්‍රධානී උපේන්ද්‍ර හේරත් සහ වැඩසටහන් ප්‍රධානී විරාජ් මාලිංග ගමගේ යන පිරිස ද එක්ව සිටියහ.

වත්මන් වේගවත් ඩිජිටල් යුගයේ ගෝලීය ප්‍රවණතාවලට අනුගත වෙමින්, හුදෙක් තිරයක් දෙස බලා සිටින ප්‍රේක්ෂකයකු වෙනුවට ප්‍රේක්ෂක අදහස්වලට ගරුකරන අන්තර්ක්‍රියාකාරී ජනමාධ්‍ය අත්දැකීමක් සමීප කිරීම ‘අහස ටීවී’ හි ප්‍රධාන අපේක්ෂාවයි.

විශේෂයෙන්ම මෙරට Gen-Z පරම්පරාවේ තරුණ අදහස් හා දක්ෂතාවලට අන්තර්ජාතික මට්ටමේ අවකාශයක් නිර්මාණය කර දීම නාලිකාවේ තවත් ප්‍රධාන වගකීමක් ලෙස හඳුන්වා දී ඇත.

නවෝත්පාදනය පෙරදැරි කරගත් මෙම වැඩසටහන් මාලාව ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ප්‍රගමනයට සක්‍රීය දායකත්වයක් සපයනු ඇතැයි නාලිකාව විශ්වාස කරයි.

තිරසර හා වගකිවයුතු ජනමාධ්‍ය භාවිතයක් ඔස්සේ කුඩා දරුවාගේ සිට පරිණත වැඩිහිටියා දක්වා සෑම පරපුරක්ම සතුටින් තබමින් බුද්ධිමය ජනමාධ්‍ය මෙහෙවරක් ඉටුකිරීමට ‘අහස ටීවී’ සූදානමින් සිටියි.