March 30, 2024

දරුවන්ගේ, මව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්ප හේතුවෙන් මෙරට ශාරීරික දඬුවම් අහෝසි කිරීම ගැටලු සහගත බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති චන්නක උදය කුමාර අමරසිංහ පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් මෙරට පවතින ප්‍රධාන ගැටළුව වන්නේ, තහනම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ළමුන්, මව්පියන් සහ ගුරුවරුන් දක්වන ආකල්පය බවයි.

“ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ශාරීරික හානියක් ගැන පැමිණිලි කරන දරුවා විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමයි. ශාරිරික දණ්ඩනයට ලක්කරන ගුරුවරුන්ට එරෙහිව පැමිණිලි කළහොත් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගතහොත් ගුරුවරුන් විසින් දරුවා හුදකලා කළ හැකිය. පැමිණිලි කරන ළමයෙකුට තමාට හානියක් වූ අවස්ථාවේ ඔහු හෝ ඇය ඉගෙනගත් පාසලට යාමට නොහැකි විය හැකියි. ඊට අමතරව මව්පියන්ගේ සහ සමස්ත සමාජය තුළ ඇති පොදු ආකල්පය වන්නේ දරුවෙකු ශාරීරික දඬුවම්වලට ලක් කිරීමෙන් කිසිදු හානියක් සිදුනොවන බවයි. ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ශාරීරික දඬුවම්වලට ලක්වූ දරුවෙකුගේ මව්පියන් පවා විරෝධය පළකළ අවස්ථාවක් තිබුණා.” යනුවෙන් ඔහු ඒ පිළිබඳ පැහැදිලි කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට අදාළ නීති යාවත්කාලීන කිරීම බොහෝ වාරයක් නිර්දේශ කර ඇති බව ද ඔහු පවසයි.

2018 වසරේ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ද එය නිර්දේශ කර තිබේ.

විශ්‍රාමික විනිසුරුවරුන්, ජනාධිපති නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් සමග ජාතික ළමා රක්ෂක අධිකාරිය එක්ව ශාරීරික දඬුවම් අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර නීති කෙටුම්පතක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව ද එම අධිකාරියේ සභාපති මහාචාර්ය චන්නක උදය කුමාර අමරසිංහ පෙන්වා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැදවන ලද රැස්වීමකදී ද ශාරීරික දඬුවම් අහෝසි කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර ‘Stop Child Cruelty Trust (SCCT) සංවිධානය පවසන්නේ, පසුගිය වසර දහය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත වාර්තා වූ ළමා හිංසන හා ශාරීරික අපයෝජන සිද්ධීන් සංඛ්‍යාව තුන්ගුණයකින් වැඩි වී ඇති බවයි.