August 28, 2023

“මගේ දුවට පරිප්පු, කඩල පරිප්පු වැනි ආහාර කන්න බෑ. ඒවා කාපු වෙලාවට දුවට ආසාත්මිකතා ඇති වෙනවා. ඒවා කෑවහම හුස්ම ගැනීමේ අපහසුතා එක්ක හතියත් එනවා. ඒ හින්දා දුව ඒ කෑම ගත්තේ නෑ.” යැයි මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නම් 25 හැවිරිදි අවිවාහක තරුණියගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇයගේ මව වන කරුණාධිපති ගණිතයාලාගේ සීලවතී (49) පැවැසුවාය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ, බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නමැත්තියයි.

මිය ගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට අනෙකුත් පිරිස සමඟ එම උත්සවය පැවති හොරණ, ගෝනපොළ උත්සව ශාලාවකට ගොස් ඇති අතර, එහිදී ඇය පිරිස සමඟ විනෝදවී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

මිය ගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදී එම ස්ථානයෙන් පිටවී ඇති අතර, ටික වේලාවකදී ඇයට අසනීපවී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත. අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් ඇය හොරණ රෝහලට රැගෙන යෑමට උපදෙස්දී ඇති බවත්, එහිදී සිදු කළ පරීක්ෂාවේදී ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම්දී ඇති බවත් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණයවී ඇත.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ඇයගේ මරණය සිදුවී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් කෑමට ගත් ආහාර ශ්වාස නාලිකාවලට යෑම හුස්ම ගැනීමට අපහසුවීමෙන් බවට හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනට සාම විනිසුරු සුමේධ ගුණවර්ධන තීරණය කළේය.

(දිනමිණ)