November 16, 2026

ගාල්ල කොටුව වෙරළ තීරයේ ගල්පර අතර සිරවී සිටි මුහුදු කැස්බෑවකු බේරාගෙන නැවත මුහුදට මුදා හැරීමට ගාල්ල කොටුව පොලිස් මුරපොළට අනුයුක්ත නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

පසුගිය සෙනසුරාදා පොලිස් නිලධාරීන් ගාල්ල කොටු පවුර මත මුර සංචාරයේ යෙදී සිටියදී මෙම සිදුවීම නිරීක්ෂණය වී ඇත.

ගල්පර අතර සිරවී සිටි කැස්බෑවා දුටු වහාම කොටු පවුරෙන් පහළට බැස ඇති නිලධාරීන්, මහත් පරිශ්‍රමයකින් පසු එම සත්වයා බේරාගෙන ආරක්ෂිතව නැවත මුහුදට මුදා හැරීමට පියවර ගෙන තිබේ.

ප්‍රදේශයේ පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් මෙම කැස්බෑවා ගොඩබිමට ගසාගෙන විත් ගල්පර අතර සිරවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ගාල්ල කොටුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබිණි.