November 16, 2026

වාර්ෂික ‘අර්ත්ෂොට්’ සම්මාන උළෙලට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය අද ඉන්දියාවේ මුම්බායි නුවරට ළඟා විය. 2024 වසරේදී පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලැබීමෙන් පසු කේට් කුමරිය සිදු කරන වඩාත්ම කැපී පෙනෙන විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයකි.

රාජකීය යුවළගේ තෙදින ඉන්දීය සංචාරය අතරතුර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සමඟ සුහද ක්‍රිකට් තරගයකට එක්වීම, මුම්බායි මෙට්‍රෝ දුම්රියේ ගමන් කිරීම සහ අඟහරුවාදා පැවැත්වෙන සම්මාන උළෙලට එක්වන ජනප්‍රිය බොලිවුඩ් තරු හමුවීම ඇතුළු අංග රැසක් ඇතුළත් වේ. ඔවුන් සිය සංචාරය අවසන් කරනු ඇත්තේ නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමෙනි.

බ්‍රිතාන්‍ය කිරුළේ උරුමක්කරු වන විලියම් කුමරු විසින් 2020 වසරේදී ආරම්භ කරන ලද ‘අර්ත්ෂොට්’ සම්මාන උළෙලේ අරමුණ වන්නේ දේශගුණික විපර්යාස සඳහා නව්‍ය විසඳුම් සොයා ගැනීමයි. එහිදී ජයග්‍රාහකයින් පස් දෙනකුට සිය ව්‍යාපෘති පුළුල් කර ගැනීම සඳහා පවුම් මිලියනය බැගින් (ඇමරිකානු ඩොලර් මිලියන 1.32ක්) පිරිනැමේ.

44 හැවිරිදි කේට් කුමරිය හඳුනා නොගත් පිළිකා තත්ත්වයක් සඳහා රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව සිය නිල රාජකාරි කටයුතු සැලකිය යුතු ලෙස සීමා කළාය. මේ වන විට රෝගය සුව අතට හැරෙමින් තිබෙන බැවින් ඇය ක්‍රමයෙන් ප්‍රසිද්ධ උත්සව සඳහා සහභාගී වීම වැඩි කර ඇතත්, මීට පෙර විලියම් කුමරු සමඟ විදෙස් සංචාර සඳහා එක් වී නොතිබිණි.

පිළිකා රෝග විනිශ්චය තවමත් සිය ජීවිතයට බලපෑම් කරන බවත්, තමා එදිනෙදා ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියට යන බවත් කේට් කුමරිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. 2024 වසරෙන් පසු ඇය සිදු කළ එකම සැලකිය යුතු විදෙස් සංචාරය වූයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ සිය වැඩසටහනකට අදාළව පසුගිය මැයි මාසයේදී තනිවම ඉතාලියේ සිදු කළ දෙදින සංචාරයයි.