November 16, 2026

ජල පොම්පයේ ඇති විදුලි සම්බන්ධකයේ පවතින දෝෂයක් හේතුවෙන් ඇතිවිය හැකි ගිනි ගැනීමේ අවදානමක් නිසා, ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයකු වන BMW සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ වාහන 720,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ.

ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය පවසා ඇති පරිදි, 2012 සහ 2018 අතර කාලය තුළ නිෂ්පාදනය කරන ලද BMW මාදිලි කිහිපයකට අයත් වාහන 720,796 කට මෙම තත්ත්වය බලපා ඇත.

ජල පොම්පයේ ඇති විදුලි සම්බන්ධකය කාලයත් සමඟ දිරාපත් වීමට ඉඩ ඇති බවත්, ඒ හරහා තෙතමනය ඇතුළු වී විදුලි කාන්දුවක් ඇති විය හැකි බවත්,මෙම දෝෂය හේතුවෙන් වාහනය ගිනි ගැනීමකට පවා ලක්විය හැකි බවත් ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය පවසා තිබේ.

මෙම තත්ත්වය බලපා ඇති මෝටර් රථ මාදිලි පහත පරිදි වේ.
– BMW 228i සහ 228xi (2014–2016)
– BMW 328i සහ 328xi (2012–2016)
– BMW 428i සහ 428xi (2014–2016)
– BMW 528i සහ 528xi (2012–2016)
– BMW X1 (2012–2015)
– BMW X3 (2013–2017)
– BMW X4 (2015–2018)
– BMW X5 (2016–2018)
– BMW Z4 (2012–2016)

ඇතිවිය හැකි ගිනි ගැනීම්වලින් ආරක්ෂා වීමේ පූර්වාරක්ෂක පියවරක් ලෙස, මෙම මාදිලිවල වාහන හිමියන්ට තම වාහන ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම්වලින් ඈත්ව, එළිමහනේ නවතා තබන ලෙස උපදෙස් දී ඇත.

NHTSA ආයතනය පවසා ඇත්තේ, මෙම නවතම ආපසු කැඳවීම 2024 වසරේදී නිකුත් කළ පෙර කැඳවීමකට සම්බන්ධ බවයි. එනම්, මීට පෙර අලුත්වැඩියා කරන ලද වාහන සඳහා ද අමතර නිවැරදි කිරීම් සිදු කිරීමට අවශ්‍ය විය හැකිය.

BMW සමාගම මේ සඳහා විසඳුමක් තවමත් සකස් කරමින් සිටින අතර, අදාළ වාහන හිමියන් වෙත දෙසැම්බර් මාසයේදී දැනුම්දීමේ ලිපි යැවීමට නියමිතය.