June 16, 2026

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහළ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට අදාළව 16 හැවිරිදි සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිසිය පැවසුවේ ජූනි 1 වැනිදා එරාවුර්, සදාම් හුසේන් පල්ලිය අසලදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

පාපැදියකින් ගමන් කරමින් සිටි වින්දිතයා, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් පැහැරගෙන, සකත්ග්‍රාමම් ප්‍රදේශයේ පාළු ඉඩමකට රැගෙන ගොස් පහර දී ඇති බව වාර්තා වේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ටික්ටොක් හි පළකරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

එම අවස්ථාවේදී එහි සිටි පිරිසක් විසින් මෙම පහරදීම වීඩියෝ කර ඇති අතර, පසුව එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

පහරකෑමට ලක්වූ තරුණයා එරාවුර් සහ මඩකලපුව රෝහල්වල දින තුනක් ප්‍රතිකාර ලබා ඇත.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් පසුව, වින්දිතයාගේ මව විසින් ජූනි 15 වනදා එරාවුර් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ එරාවුර් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර, අදාළ වීඩියෝ දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් එරාවුර්, මීරාකේනි පාරේ පදිංචි 16 හැවිරිදි සැකකරු අද (16) එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ජූනි 30 වනදා දක්වා කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.

පොලිසිය විසින් එරාවුර්, මිච් නගර් ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව ජූනි 17 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එරාවුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.