July 25, 2026

කිළිනොච්චිය, අක්කරායන්කුලම්, මුක්කන්පන් ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන බවට ලද තොරතුරකට අනුව වැටලීමකට ගිය වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් නවදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අහසට වෙඩි තැබීමට පවා සිදුවූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම පොරබැදීම අතරතුර තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිව්දෙනකු (04) වහාම ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ද පපුවේ හදිසියේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව රක්ෂිතය එළිපෙහෙළි කිරීම සඳහා යොදාගත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.