May 28, 2024

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු ඊයේ (27) කළුතර බන්ධනාගාරයේදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය 25 වනදා අත්අඩංගුවට ගනු ලැබූ පලාපිටියගොඩ ප්‍රදේශයේ පදිංචි තුෂාර රුක්මාල් සිල්වා නැමැත්තායි.

39 හැවිරිදි තෂ්මින් මධුවන්ත සිල්වා හෙවත් ‘කලමුල්ලේ ටෂි’ නැමැත්තාට මැයි 20 කළුතර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඔහුගේ 8 හැවිරිදි දියණියට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාර රුක්මාල් සිල්වා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (27) පස්වරුවේ මෙම රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදුකිරීමට නියමිත අතර කළුතර (උතුර) පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.