January 13, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්.පී.එස්.කේ. සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා ඊයේ (2024 ජනවාරි 12) උදෑසන වව්නියාවෙන් සිය ඇවිදීම ආරම්භ කෙරිණි.

ඊයේ (2024 ජනවාරි 12) සිට දින 08 ක කාලයක් තුළ දිනකට කිලෝමීටර් 72.5 බැඟින් ඇවිදිමින් මෙම කිලෝමීටර් 580 ක දුරක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නායක ඉංජිනේරු කාර්මික ආර්.පී.එස්.කේ. සිරිවර්ධන යන නාවිකයා අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, පළමු දින වව්නියාවේ සිට නොච්චියාගම දක්වාත්, දෙවැනි දින නොච්චියාගම සිට පාලවිය දක්වාත්, තෙවැනි දින පාලවිය සිට මාදම්පේ දක්වාත්, සිව්වැනි දින මාදම්පේ සිට නාවික හමුදා මූලස්ථානය දක්වාත්, පස්වැනි දින නාවික හමුදා මූලස්ථානයේ සිට අ‍ඹේපුස්ස දක්වාත්, හයවැනි දින අ‍ඹේපුස්ස සිට මැල්සිරිපුර දක්වාත්, හත්වැනි දින මැල්සිරිපුර සිට මරදන්කඩවල දක්වාත්, අවසන් දින මරදන්කඩවල සිට වව්නියාව දක්වාත් ඇවිදිමින් වව්නියාවෙන් ගමන අවසන් කිරීමට නියමිතව ඇත.