March 21, 2026

2023, 2024 සහ 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල සමස්ත මගී පැමිණීම් සහ පිටවීම් පිළිබඳ දත්ත එක් එක් ගුවන් තොටුපළ සඳහා වෙන වෙනම ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙම වසර තුළ ගුවන් තොටුපළ බදු (embarkation levies) හරහා රජයට ලැබිය යුතු මුළු ආදායම පිළිබඳව ද ප්‍රශ්න කළේය.

ආදායම් අහිමි වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් මන්ත්‍රීවරයා ගුවන් සමාගම් විසින් ගෙවිය යුතු පැහැර හරින ලද හෝ නොගෙවූ බදු මුදල් පිළිබඳ විස්තර, පැහැර හරින ලද ගුවන් සමාගම්වල නම්, ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන් සහ බලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව විමසා සිටියේය.

බදු ගෙවීම් ප්‍රමාද වීමෙන් සිදුවන මූල්‍ය බලපෑම පිළිබඳවද ඔහු එහිදී කරුණු විමසීය.

එමෙන්ම, මන්ත්‍රීවරයා ගුවන් තොටුපළ යටිතල පහසුකම් කෙරෙහිද අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සහ දේශීය ගුවන් තොටුපළ සංඛ්‍යාව සහ ඒවායේ වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියේය.