March 26, 2024

අන්තර්ජාලය ඔස්සේ විවිධ තර්ජනවලට ලක්වන මහජනතාවට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහය ලබාගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ.

අන්තර්ජාලය හරහා පුද්ගලයන්ගෙන් විවිධ හිරිහැර හා තර්ජනවලට ලක්වන පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.

මාධ්‍ය අමතමින් නියෝජ්‍ය පොලිස්පති තල්දූව කියා සිටියේ සහය අවශ්‍ය අයට dir.ccid@police.gov.lk විද්‍යුත් තැපෑලෙන් පැමිණිලි කළහැකි බවයි.

පැය 24 පුරා ක්‍රියාත්මක වන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 109 ඔස්සේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ෆේස්බුක් හරහා තරුණියකට අතවර කළ හික්කඩුව ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම උපකාරක අවස්ථා අනාවරණය කළේය.

මෙම තරුණයා තරුණියට නැවත නැවතත් විවාහ යෝජනා කර ඇති අතර, ඇය අවස්ථා කිහිපයකදීම ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව ඔහු තරුණියට ලින්ක් එකක් එවා ඇත්තේ ඇයගේ අසභ්‍ය පින්තූර අන්තර්ජාලයට එක්කර ඇති බව පවසමිනි.

ඒ අනුව එය පරීක්ෂා කරන ලෙස තරුණිය ඇයගේ පෙම්වතාගෙන් ඉල්ලා ඇත.

එහිදී පෙනී ගොස් ඇත්තේ නීත්‍යනුකූල සහ පිළිගත් මූලාශ්‍රයකින් එන බව පෙනෙන වංචනික සන්නිවේදන ක්‍රමයකින් සැකකරු විසින් යුවළ අතර අන්තර්ජාලය ඔස්සේ කළ සංවාද සහ ඡායාරූප ලබාගෙන එම තරුණියගේ අසභ්‍ය රූප නිර්මාණය කර ලිංගිකත්වය සඳහා ඇයට තර්ජනය කර ඇති බවයි.

අදාළ තරුණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සැකකරු පිළියන්දල ප්‍රදේශයට රවටා ගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.