September 6, 2026

තාත්තාව මරාදැමූ අය සමඟ එකට එකතු වී දේශපාලනය කිරීම ගැන යාපනයේදී පැවැති අනුස්මරණ උත්සවයකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් අපූරු හෙළිදරව්වක් සිදුකර තිබේ.

1985දී තවාඩි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රබල නායකයෙකු වූ වී. ධර්මලිංගම්ගේ 41 වැනි ගුණසමරුව පසුගිය අඟහරුවාදා ඔහු ඝාතනය කර තිබූ ස්ථානයේදීම පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ එක් කථිකයකු පවසා ඇත්තේ ධර්මලිංගම්ගේ සැබෑ ඝාතකයින් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

එහෙත් ප්ලොට් සංවිධානයේ නායක, ඔහුගේ පුත් ඩී. සිද්ධාර්ථන් වේදිකාවට පැමිණ එම කතාව නිවැරදි කරමින් කියා සිටියේ සිය පියා සහ එම්. ආලාලසුන්දරම්ව ඝාතනය කළේ ප්‍රතිවාදී ටෙලෝ සංවිධානය විසින් බවයි.

තමන්ගේ පියා මරාදැමූ කල්ලිය සමඟ එකතු වී දේශපාලනය කරන්නේ කෙසේදැයි තම ආධාරකරුවන් නිතර අසන බවත්, ඊට තමන් දෙන පිළිතුර වන්නේ “පොදු අරමුණු වෙනුවෙන් සතුරා සමඟ වුවද එකතු වී වැඩකරන හැටි අපට පෙන්වා දුන්නේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය” යන්න බවත් සිද්ධාර්ථන් පවසා තිබේ.

“1989දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අපේ ප්‍රබල නායක ඒ. අමිර්තලිංගම්ව ඝාතනය කළත්, වසර කිහිපයකට පස්සේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය එල්.ටී.ටී.ඊ.ය එක්ක එකතු වෙලා වැඩ කළා. ඒ පැත්තෙන් බලද්දී මට ඒක ලොකු ආදර්ශයක් වුණා” යැයි සිද්ධාර්ථන් වැඩිදුරටත් පවසා ඇත.

ප්ලොට් සංවිධානය නියෝජනය කරන සිද්ධාර්ථන් දැනට ටෙලෝ (TELO)සංවිධානය ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරයි.