August 8, 2026

මහජනතාවට සහ පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරන ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නව පරිසර පනත යටතේ විශේෂ රෙගුලාසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ, නව සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ ශබ්ද දූෂණය සම්බන්ධ චෝදනාවලට ලක්වන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලතල පොලිසිය වෙත හිමිවන බවයි.

නව රෙගුලාසිවල ප්‍රධාන කරුණු:

– නිශ්චිත ශබ්ද මට්ටම් ඉක්මවා යමින් මහජන පීඩාවක් වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර, වාහන හෝ වෙනත් උපකරණ භාවිත කරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට නීතිමය ඉඩකඩ සැලසේ.

– ශබ්ද දූෂණ වැරදි සඳහා වන දඩ මුදල් සහ බන්ධනාගාර දඬුවම් ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට යෝජිතය.

– ආගමික සහ උත්සව අවස්ථා, කර්මාන්ත ශාලා, රාත්‍රි කාලයේ පැවැත්වෙන සාද, සහ මගී ප්‍රවාහන වාහන තුළ අධික ශබ්දයෙන් සංගීතය වාදනය කිරීම වැනි පරිසරයට හානිකර සියලුම ශබ්ද මූලාශ්‍ර නියාමනය කිරීමට පියවර ගැනේ.

ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයේ සමතුලිතතාවයට ශබ්ද දූෂණයෙන් සිදුවන හානිය අවම කිරීම මෙම නව තීරණයේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පවසයි.