June 19, 2026

බෝ නොවන රෝග (NCDs) ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම අරමුණු කරගනිමින්, පාසල් ආපනශාලාවල විකිණීම තහනම් කර ඇති ආහාර ද්‍රව්‍යවල සංශෝධිත ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න සඳහන් කළේ, පාසල් පරිසරය තුළ සිසුන්ගේ යහපත් ආහාර පුරුදු සහ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීම සඳහා මෙම නව සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ හඳුන්වාදුන් බවයි. කුඩා අවදියේ සිටම නිවැරදි ආහාර රටාවන්ට හුරු කිරීම මඟින් අනාගතයේදී වැළඳිය හැකි ජීවන රටාව ආශ්‍රිත රෝග වළක්වා ගත හැකි බවද ඇය පෙන්වාදුන්නාය.

අධික ලෙස මේදය, සීනි, ලුණු සහ කෘතිම රසකාරක අඩංගු ආහාර ගැනීම ළමුන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සංකූලතාවලට ප්‍රධානතම හේතුවක් බව සෞඛ්‍ය බලධාරීන් පවසති. ඒ අනුව පාසල් පරිසරය තුළ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති ආහාර වර්ග පහත පරිදි කොටස් කිහිපයකට වර්ග කර දක්වා ඇත.

අහිතකර මේදය සහ ට්‍රාන්ස් මේදය (Trans-fats) අධික ආහාර

සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස් මේදය අධික ආහාර ළමා සෞඛ්‍යයට අතිශය හානිකර බව හඳුනාගෙන ඇත.

– හැම් (Ham), සොසේජස්, බේකන් වැනි පිරිසැකසුම් කළ මස් වර්ග.

– පැටිස්, පැස්ටි, පෆ්ස් (Puffs) වර්ග.

– රෝල්ස්, සමෝසා, කට්ලට්, බැදපු අර්තාපල් (French fries) සහ බැදපු මඤ්ඤොක්කා ඇතුළු ගැඹුරු තෙලේ බැදපු සියලුම ආහාර.

සීනි අධික ආහාර සහ පැණි බීම

බලධාරීන් පෙන්වාදෙන්නේ බත්, පිෂ්ඨය සහිත ආහාර සහ පළතුරු වැනි ස්වාභාවික ප්‍රභවයන්ගෙන් ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණය ලැබෙන බැවින් අමතර සීනි සහිත ආහාර සීමා කළ යුතු බවයි. අධික සීනි භාවිතය නිසා ළමුන් තරබාරු වන අතර ප්‍රධාන වේල් සඳහා ඇති රුචිය ද අඩු වේ.

– චොකලට්, ඩෝනට්ස්, ඉක්ලෙයාර්ස්, චොකලට් කේක් සහ බිස්කට්.

– ක්‍රීම් බිස්කට්, අයිසින් කරන ලද කේක් සහ අධික ලෙස පිරිසැකසුම් කළ බිස්කට් වර්ග.

– කාබනේටඩ් සිසිල් බීම, කෝලා වර්ග, ශක්තිජනක බීම (Energy drinks), කෘතිම පළතුරු බීම සහ අනෙකුත් පැණි බීම වර්ග.

ලුණු සහ රසකාරක අධික ආහාර

අධික ලුණු සහ මොනෝසෝඩියම් ග්ලූටමේට් (MSG) වැනි රසකාරක අඩංගු ආහාර අධි රුධිර පීඩනය ඇතුළු සෞඛ්‍ය අවදානම් ඇති කරයි.

– ලුණු දැමූ රටකජු, කඩල සහ කජු වර්ග.

– පැකට් කළ අච්චාරු වර්ග.

– සුප් කැට සහ ක්ෂණික සුප් කුඩු වර්ග.

පිරිසැකසුම් කළ ක්ෂණික නූඩ්ල්ස් සහ පොප්කෝන් වැනි ලුණු අධික ස්නැක්ස් වර්ග.

පෝෂණ ගුණයෙන් තොර අධික කැලරි සහිත ආහාර

මෙම ආහාරවලින් ශරීරයට කිසිදු පෝෂණයක් නොලැබෙන අතර, එමඟින් ළමුන්ගේ නිසි පෝෂණය අඩාල වේ. කෘතිම වර්ණක හා රසකාරක නිසා අසාත්මිකතා ද ඇති විය හැක.

– පැණිරස කෑම වර්ග, චුවින්ගම්, ටොෆි, අයිස් පැකට්/අයිස් පලම් සහ ලොලිපොප්.

– ජෙලි මෙන්ම බූන්දි, කිසස්, ජුජුබ්ස් සහ බොම්බායි මොටයි වැනි සීනි අධික රසකැවිලි.

මධ්‍යසාර අඩංගු සහ අධික ලෙස පිරිසැකසුම් කළ ආහාර

මධ්‍යසාර හෝ මධ්‍යසාර අඩංගු ඕනෑම ආහාර සහ බීම වර්ග (Alco-pops ඇතුළුව).

කල් තබාගැනීමේ ද්‍රව්‍ය, ලුණු, සීනි සහ මේදය අධික, එහෙත් පෝෂණ ගුණයෙන් ඉතා අඩු ක්ෂණික නූඩ්ල්ස්, සොසේජස් සහ මීට්බෝල්ස් වැනි අධික ලෙස පිරිසැකසුම් කළ ආහාර.

දිවයින පුරා සිටින පාසල් සිසුන්ගේ දිගුකාලීන යහපැවැත්ම උදෙසා මෙම නව පෝෂණ මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් අදාළ අංශවලින් ඉල්ලා සිටී.