August 26, 2026

හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලමින් ලොව පුරා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 21 දෙනෙකු විසින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් වෙත නැවත වරක් සංදේශයක් යොමු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ඉටු නොවන අයුරින් මෑතකදී සිදුවූ යම් යම් වර්ධනයන් පදනම් කරගනිමින් ඔවුහු මෙම ඉල්ලීම අලුත් කර ඇත.

“ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරුන් සහ ඔහුගේ සොහොයුරිය වන වෛද්‍ය උස්මා ඛාන් ඇතුළත් වන වෛද්‍ය මණ්ඩලයක් මගින් පරීක්ෂා කිරීම සඳහා ඔහුව රෝහල්ගත කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා,” යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

“එමෙන්ම සතියකට වරක් පවුලේ අයට ඔහුව හමුවීමට තිබූ අවස්ථාව ද අධිකරණය විසින් නැවත ලබා දුන්නා. ඒවා ඉතා අගය කළ යුතු පියවර. නමුත් කනගාටුවට කරුණ නම්, ඛාන් මහතා රෝහලේ රැඳී සිටියේ පැය කිහිපයක් පමණයි. අධිකරණය විසින් නියම කරන ලද වෛද්‍ය මණ්ඩලය වෙනුවට රජය විසින් පත් කරන ලද වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුව පරීක්ෂා කර, ඔහු ‘වෛද්‍යමය වශයෙන් යෝග්‍ය’ බව ප්‍රකාශ කර, අධිකරණ වෛද්‍ය මණ්ඩලයට තමන්ගේ කාර්යය නිම කිරීමට පවා ඉඩ නොතබා ඔහුව නැවත අඩියාලා බන්ධනාගාරයට යවා තිබෙනවා.”

හිටපු ක්‍රිකට් නායකයින් විසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙත මෙලෙස අභියාචනයක් ඉදිරිපත් කළේ මාස 6 ක් ඇතුළත දෙවන වතාවට ය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ද හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු ලිපියක් යොමු කරමින් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබුණි.

බන්ධනාගාරය තුළ සිදුවන වෛද්‍ය නොසලකා හැරීම් හමුවේ ඛාන්ගේ එක් ඇසක පෙනීම සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී ඇති බවට ඔහුගේ පවුලේ අය කළ ප්‍රකාශ ඊට හේතු විය.

“දේශපාලනඥයන් ලෙස නොව, ක්‍රිකට් පිටියේදී ගොඩනැගුණු මිත්‍රත්වය මත පදනම් වූ හිටපු සගයන් සහ ප්‍රතිවාදීන් ලෙස” මෙම ලිපිය ලියන බව සඳහන් කරන ඔවුන්, පාකිස්තානයේ අභ්‍යන්තර නීතිමය ක්‍රියාදාමයන්ට මැදිහත් වීමට තමන් උත්සාහ නොකරන බව ද අවධාරණය කරති.

මෙම ලිපියට අත්සන් තබා ඇති 21 දෙනා අතර ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ඇලන් බෝඩර්, සුනිල් ගවස්කාර්, ඩේවිඩ් ගෝවර්, ක්ලයිව් ලොයිඩ්, අර්ජුන රණතුංග, ස්ටීව් වෝ සහ ජෝන් රයිට් වැනි ලෝක පූජිත ක්‍රිකට් නායකයෝ වෙති.

2018 සිට 2022 දක්වා පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව බන්ධනාගාර දඬුවම් රැසකට යටත් කරනු ලැබීය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ද ඉම්රාන් ඛාන්ට එරෙහි නඩු විභාගවල සාධාරණත්වය සහ බන්ධනාගාරය තුළ ඔහුගේ තත්ත්වය පිළිබඳව මීට පෙර කනස්සල්ල පළ කර තිබේ.