November 26, 2026

ලොව පුරා නව එච්.අයි.වී (HIV) ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළද, ශ්‍රී ලංකාව තුළ නව ආසාදිතයන් වාර්තා වීමේ 48%ක ඉහළ යාමක් සටහන් වී ඇති අතර, ඒ හේතුවෙන් අවදානමට ලක්වන තරුණ පිරිස ඉහළ යාම සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.

1987 වසරේදී ශ්‍රී ලංකාවෙන් පළමු එච්.අයි.වී ආසාදිතයා වාර්තා වූ දා සිට 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට මෙරටින් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 8,111ක් පමණ වේ. දැනට මෙරට තුළ එච්.අයි.වී ආසාදිතයන් 8,700ක් පමණ ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇත.

නවතම දත්තවලට අනුව, වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 87%කට ආසන්න පිරිසක් පිරිමින් වන අතර, එච්.අයි.වී ආසාදිත පිරිමින්ගෙන් 87%ක්ම සමලිංගික ඇසුරෙහි යෙදෙන පිරිමින් බව අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව අතර ආසාදන ඉහළ යාම තවත් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත. එන්නත් මගින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම හරහා එච්.අයි.වී සම්ප්‍රේෂණය වීම වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මෙම වයස් කාණ්ඩය තුළ වන අතර, මේ සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීම් සහ වැළැක්වීමේ පියවර ගැනීමේ දැඩි අවශ්‍යතාව ඉන් ඉස්මතු වේ.

2010 වසරට සාපේක්ෂව 2025 වසර වන විට ගෝලීය වශයෙන් නව එච්.අයි.වී ආසාදිතයන් වාර්තා වීම 42%කින් පහත වැටී ඇති පසුබිමක, එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයන් 48%කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

“වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ පිරිස අතර එච්.අයි.වී ආසාදන ඉහළ යාම විශේෂයෙන්ම කනස්සල්ලට කරුණක්. ලිංගික ක්‍රියාකාරකම් සමඟ බැඳුණු මත්ද්‍රව්‍ය භාවිතය ද අපට දක්නට ලැබෙන අතර, එමගින් එච්.අයි.වී සම්ප්‍රේෂණය වීමේ අවදානම තවදුරටත් ඉහළ නැංවිය හැකියි. ජනතාව මෙම අවදානම් තත්ත්වයන් අවබෝධ කරගෙන අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීම ඉතා වැදගත්,” යැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාධවී ගුණතිලක පැවසුවාය.

වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කල්තියා පරීක්ෂණ සිදු කිරීම සහ නිසි දැනුවත්භාවය අත්‍යවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.