June 15, 2026

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් අවධානය යොමුකර, ඔහුට සුදුසු සහනයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ බිරිඳ වන මනෝරි සලේ ඉකුත් 08 වැනිදා අස්ගිරි මහා විහාරයට පැමිණ මහා නාහිමියන් බැහැදැක සිදුකළ විශේෂ ආයාචනයක් සැලකිල්ලට ගනිමින් උන්වහන්සේ විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මනෝරි සලේ තමන් වහන්සේ හමුවී ඇගේ ස්වාමිපුරුෂයා මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරමින් සහනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි බව මහා නාහිමියන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.

එමෙන්ම, ඇය විසින් තමන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත ආයාචනයේ පිටපතක් ද මහා නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට අමුණා තිබේ.

අදාළ කරුණු කෙරෙහි සානුකම්පිතව අවධානය යොමු කර, එම ආයාචනය සම්බන්ධයෙන් සුදුසු සහනදායී පියවරක් අනුගමනය කරන ලෙස අස්ගිරි මහා නාහිමියන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.