January 2, 2024

නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය 29 වැනිදා පුද්ගලයන්ගේ ශරීර පරීක්ෂාවක් සිදුකර ඇති අතර, එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ වැඩිමහලු සහෝදරියගේ පුත්‍රයාවද පරීක්ෂාවට ලක්කර ඇති බවත්, එම සිද්ධියෙන් පසු ඔහුගේ පියා පොලිස් ස්ථානයට පැමිණ බැනවැදී ඇති බවත් වාර්තා වේ.

ඉන්පසුව 30 වැනිදා බීමත්ව වාහනවලින් පැමිණි යම් පිරිසක් ස්ථානාධිපතිවරයාට සහ එදින පරික්ෂ කළ නිලධාරීන්ට බැන තර්ජනය කර කලහකාරී ලෙස හැසිරී ඇති බැවින්, පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමට බියකින් පසුවන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

ගම්පොල කොඨිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද විසින්ද මෙම සිද්ධිය වසන්කොට තිබෙන බව පෙනෙන අතර, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ගම්පොල සහකාර පොලිස් අධිකාරි කමල් ආරිවංශ විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ, මන්ත්‍රීවරයාගේ ඥාතියකු වන ඉන්දික අමරසිංහ යන අය නිල් පැහැති කාර් රථයකින් පැමිණ මෙම තර්ජනය සිදු කර ඇති බවයි.

අදාළ පුද්ගලයා නිල් පැහැති කාර් රථයකින් පැමිණ පොලිස් ස්ථානය ඉදිරිපිට භූමියේ නතර කර කොට කලිසමක් හා අත් කොට ටී ෂර්ට් එකක් ඇද ගත් පුද්ගලයකු හා තවත් පුද්ගලයකු සමග ”දරුවා ඉස්කොලේ යවන්නත් බැහැ ලැජ්ජයි. හොරු වගේ හිතලා ගේ ඉස්සරහම චෙක්කරලා තියෙනවා. සාක්කුවේ චොක්ලට් තිබුණා ඒවා කෙල්ලන්ට දෙන්නද ගෙනියන්නේ කියලා අසා තිබෙනවා. අනවශ්‍ය ලෙස ඇග අත ගා තිබෙනවා. හොරුන් මංකොල්ල කාරයන් වගේ ගේ ඉස්සරහා දී පරීක්ෂා කරලා තියෙනවා. ඒ ළමයි දෙන්නාගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණොත් පොලිසිය වගකියන්න ඕන. චෙක්කරපු දෙන්නා දන්නවා. කොහේ දී හරි හම්බ වුණොත් බලාගන්නම්.” යනුවෙන් බැන තර්ජනය කළ බවද පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.

එසේ වුවද නිලධාරීන් සිද්ධිය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වන බව පෙනෙන බවත්, ඒ අනුව, පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට තමා උපදෙස් ලබා දුන් බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම තනතුරට නුසුදුසු බවත්, මොහු කිසිදු ලෙසක ස්ථානාධිපතිවරයකු ලෙස තබා නොගතයුතු නිලධාරියෙකු බවට නිරීක්ෂණයවන බැවින් මේ සම්බන්ධයෙන් සම්පුර්ණ විමර්ශනයක් සිදුකර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් මොහු විනය හේතු මත වනාම ස්ථානාධිපති තනතුරෙන් ඉවත් කිරීමටත්, ඒ සඳහා තාවකාලිකව අනුප්‍රාප්තික නිලධාරියකු පත්කිරීමටත්, වැඩබලන පොලිස්පතිවරයාගෙන් අනුමැතිය ඉල්ලා ඇත.