March 10, 2026

ඉරාන නාවික හමුදා නිලධාරීන්ගේ මළසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය යූ.සී.පී.පෙරේරා පැවසුවේ බහුවිධ තුවාල සහ දියේ ගිලීම හේතුවෙන් ඔවුන්ට මරණය සිදුවී ඇති බවයි.

මෙම ඉරාන නාවික හමුදා නිලධාරීන් මියගියේ ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ඇමරිකානු සබ්මැරීනයක් විසින් ඔවුන්ගේ යුද නෞකාව වන අයිරිස් ඩෙනා ප්‍රහාරයට ලක්වීමෙන් පසුවය.

මෘතදේහ දින නියමයක් නොමැතිව කරාපිටිය ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැබීමට සිදුවන බව මහාචාර්ය පෙරේරා පැවසීය.

රෝහල් මෘතශරීරාගාරය මළසිරුරු 40 ක් සඳහා පමණක් ප්‍රමාණවත් තරම් ඉඩකඩ ඇති බවත්, ඉතිරි මළසිරුරු වෙනත් ගොඩනැගිල්ලක අයිස් මත ආරක්ෂා කිරීමට රෝහල් කළමනාකාරිත්වය පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

“අපට අධිශීතකරණයක් සහිත බහාලුම් දෙකක් ලැබී තිබෙනවා. නමුත් සෙන්ටිග්‍රේඩ් සෘණ 20-30 අතර උෂ්ණත්වය පවත්වා ගැනීම බරපතල අභියෝගයක්. කෙසේවෙතත්, නිසි ගෞරවයෙන් මළසිරුරු ඒවායේ තැන්පත් කර තිබෙනවා. මෙයට විශාල අධික විදුලි බිලක් වැයවෙනවා. නමුත් මළසිරුරු 84 ආරක්ෂා කිරීම අපේ වගකීමක්” ඔහු පැවසීය.

නාවික හමුදා නිලධාරීන් 20 දෙනෙකුට ප්‍රතිකාර ලබා දී වැලිසර නාවික කඳවුරට මුදාහැර ඇති බවත්, තවත් දසදෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ සහ අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.

මහාචාර්ය යූ.සී.පී.පෙරේරා, වෛද්‍ය අජිත් රණවීර, වෛද්‍ය ජානකී වරුෂහන්දි සහ වෛද්‍ය රොහාන් රුවන්පුර යන පිරිස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබේ.