March 13, 2026

යාපනය පොලිසිය නීති විරෝධී ඉන්දියානු චන්ද්‍රිකා රූපවාහිනී සේවා අලෙවි කරන ව්‍යාපාරික ආයතන කිහිපයක් වටලා විකිණීමට තබා තිබූ උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උපදෙස් යටතේ එවැනි සේවාවන් අනවසරයෙන් විකිණීමේ සහ භාවිත කිරීමේ නිරතව සිටින අයට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිසියට ලැබුණු උපදෙස් මත ඊයේ(12) මෙම පරීක්ෂාවන් සිදු කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු චන්ද්‍රිකා රූපවාහිනී සේවා නැරඹීම හෝ ගෙවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව බලධාරීන් සඳහන් කර තිබේ.

සන් ඩිරෙක්ට්, වීඩියෝකොන්, ටාටා ස්කයි සහ ඩිෂ් ටීවී වැනි සේවාවන් නීති විරෝධී ලෙස රට තුළට ගෙනැවිත් ඇති අතර, එම උපකරණ ශ්‍රී ලංකාව පුරා බහුලව අලෙවි කර ඇත.

නිලධාරීන් පැවසුවේ මෙයනීති විරෝධී ලෙස රුපියල් මිලියන ගණනක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට මාරු කිරීමට හේතු වී ඇති බවයි.

මෙම සේවාවන්හි විකුණුම්කරුවන් සහ පරිශීලකයන් යන දෙපිරිසම හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පොලිසියට උපදෙස් දී ඇත.

මෙම නියෝගයෙන් පසු, පොලිසිය නීති විරෝධී විකුණුම්වලට සම්බන්ධ වෙළඳසැල් පරීක්ෂා කිරීම සහ අනවසර උපකරණ භාවිත කරන බවට සොයා ගන්නා ලද අලෙවිකරුවන් සහ ගනුදෙනුකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනීම ආරම්භ කර තිබේ.