November 27, 2026

පෑලියගොඩ රේගු ගබඩාවක සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 181.93ක් වන හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

මැලේසියාවේ සිට එවන ලද පාර්සල් තුනක් තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එහි බර කිලෝග්‍රෑම් 18.193ක් බව රේගුව සඳහන් කළේය.

රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන ඇති අතර, ඒවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පාර්සල් රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, නියමිත කාලය තුළ කිසිවකු පාර්සල් භාර ගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කර ඇත.

මූලික රේගු විමර්ශනවලින් අනතුරුව, වැඩිදුර විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.