November 27, 2026

2026 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් 23,000කට අධික පිරිසක් ඉවත් වී ඇති අතර, පුරප්පාඩු සංඛ්‍යාව 236,967 දක්වා ඉහළ ගොස් තිබේ. එසේවුවද, නිල දත්ත වාර්තා පෙන්වා දෙන්නේ රජයේ වැටුප් බිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2025 සහ 2026 කේඩර් වාර්තාවලට අනුව, 2026 ජුනි 30 වන විට රාජ්‍ය සේවයේ සිටි සේවක සංඛ්‍යාව 893,797 කි. වසරකට පෙර එම අගය 917,137ක් ලෙස පැවැතිණි. එම කාලය තුළම අනුමත කේඩරය 1,117,713 සිට 1,130,764 දක්වා ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් තනි වසරක් තුළ පුරප්පාඩු සංඛ්‍යාව 36,391 කින් ඉහළ ගිය අතර, අනුමත තනතුරු අතරින් පුරවා ඇති තනතුරු ප්‍රතිශතය 82% සිට 79% දක්වා පහත වැටී තිබේ.

රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව අඩුවුවද, ඒ සඳහා වැයවන පිරිවැය දිගින් දිගටම ඉහළ ගොස් ඇත. මහා භාණ්ඩාගාරයේ 2027 අයවැය ආර්ථික හා රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව පෙන්වාදෙන්නේ පළාත් සභා සේවකයන් ද ඇතුළුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් වැයකරන මුදල 2026 මුල් මාස අට තුළ 8.7% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 827ක් වී ඇති බවයි. පෙර වසරේ එම කාලය තුළ එම වියදම රුපියල් බිලියන 760.7ක් විය. ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයේ දෙවැනි අදියර මෙම වැඩිවීමට හේතු වූ බව මහා භාණ්ඩාගාරය සඳහන් කරයි.

එම කාලය තුළ විශ්‍රාම වැටුප් ගෙවීම් 17.5% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 332.4ක් වූ අතර, 2027 විශ්‍රාම වැටුප් ඇස්තමේන්තු විශ්‍රාමිකයන් 762,570 දෙනකු පදනම් කරගෙන සකස් කර ඇත.

පුරප්පාඩු වැඩිවීමෙන් තුනෙන් දෙකක් පමණ සිදුව ඇත්තේ සේවකයන් ඉවත්වීම නිසා ඇති වූ ශුද්ධ අඩුවීම හේතුවෙනි. ඉතිරි තුනෙන් එකට හේතු වී ඇත්තේ අනුමත කේඩරයට අලුතින් තනතුරු එක්කිරීමයි.

මෙම දත්ත රජයේ බඳවා ගැනීම් නිවේදන සමඟ පරස්පර ස්වභාවයක් ගනී. 2027 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැවසුවේ පුරප්පාඩු 148,940ක් සඳහා බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ජූලි මාසයේදී ප්‍රකාශ කළේ මෙම වසරේ රාජ්‍ය සේවයට 120,000කට වැඩි පිරිසක් බඳවාගන්නා බවයි.

එහෙත්, මහාභාණ්ඩාගාර වාර්තාව පවසන්නේ 2027 වසරේ නව බඳවාගැනීම් හරහා රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ නොයනු ඇතැයි උපකල්පනය කරමින් වැටුප් ඇස්තමේන්තු සකස් කර ඇති බවයි.

මහා භාණ්ඩාගාරය මෙම ඇස්තමේන්තු පදනම් කරගෙන ඇත්තේ ආසන්න වශයෙන් මිලියන 1.3ක පමණ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායක් මත ය. රාජ්‍ය ව්‍යවසායන් ඇතුළත් වන නමුත් ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම්ලාභී කේඩරය ඇතුළත් නොවන කේඩර් වාර්තාවේ සටහන්ව ඇති 1,028,861 යන සංඛ්‍යාවට වඩා එය සැලකිය යුතු ලෙස ඉහළ අගයකි.

සේවක අඩුවීම ප්‍රධාන වශයෙන් පහළ ශ්‍රේණිවල දක්නට ලැබේ. ලිපිකරු සේවකයන්, ගුරුවරුන් සහ සුළු සේවකයන් ඇතුළත් ද්විතීයික සහ ප්‍රාථමික ශ්‍රේණිවල සේවක සංඛ්‍යාව 26,723කින් පහත වැටී ඇති අතර, ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය 2,912කින් ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට සිටි ඉදිරිපෙළ (frontline) සේවක සංඛ්‍යාව වසරකට පෙර පැවති 20කට ආසන්න අගයේ සිට 18ටත් වඩා අඩු මට්ටමකට පහත වැටී තිබේ.