August 28, 2023

වරාය නගරයේ ආයෝජකයෙක් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාතික මට්ටමේ පිරමීඩ ජාවාරමේ නිරත චීන ජාතිකයෙක් කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ බොරැල්ල පොලිසිය ඒකාබද්ධව පෙරේදා (26) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට චීන ජාතිකයන් 4000කට වැඩි පිරිසක් සම්බන්ධව ඇතැයි පොලිසිය සැක කරන අතර, ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙන ගොස් ඇති බව හෙළිකර ගෙන තිබේ.

ඔහු විසින් මෙරට සිට මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් ගෙන් ඩොලර් 100, 200 වැනි තැන්පතු සඳහා ප්‍රතිලාභ ලබාදී ඩොලර් 10,000ක් වැනි මුදලක් තැන්පත් වීමෙන් පසු ඒවාට ප්‍රතිලාභ නොගෙවා එම මුදල් වංචාකර ඇත.

ඔහු කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණ 07කින් නිවාස 08 ක් ලබාගෙන චීන ජාතිකයන් එහි රඳවා මෙම ජාවාරම සිදුකර ඇති බවත්, පොලිසිය එම නිවාස වැටලීමට යනවිටත් එහි ඉබි යතුරු දමා ඔවුන් පරිගණක ද රැගෙන පළාගොස් ඇති බවත්, උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

වැටලීමට මොහොතකට පෙර චීන ජාතිකයන් 27 දෙනෙක් ඉන් පිටව ගොස් ඇති බව එක් නිවසක පෞද්ගලික ආරක්‍ෂක නිලධාරිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ඔහු යටතේ 300කට අධික චීන ජාතිකයන් පිරිසක් සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රුපියල් ලක්‍ෂ 20ක් 25ක් වැනි මිල ගණන්වලට මාස දෙක තුනක් මහල් නිවාසවල සිට එම ස්ථාන මාරුකරමින් ජාවාරම සිදුකර තිබේ.

මේ අතර, කිසියම් පිරිසක් තමන් රැඳී සිටි නිවසට ඇතුළුවී අත්පා ගැටගසා ලැප්ටොප් 07ක්, රුපියල් ලක්‍ෂ 170ක් ඇතුළු රුපියල් කෝටි 04ක පමණ දේපළ සොරාගෙන ගොස් ඇති බවට සැකකාර චීන ජාතිකයා විසින් බොරැල්ල පොලිසියට පසුගිය 19 වැනිදා පැමිණිලි කර ඇත.

ඒ අනුව, කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමෙන් පසු විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුමැතිය ලබාදී තිබේ.

එම භාණ්ඩ සොරාගෙන කළු පාට සුඛෝපභෝගී වෑන් රථයකින් රැගෙන ගොස් තිබූ අතර, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර දියත උයන ආසන්නයේදී වෑන් රිය සොයාගෙන ඇත.

වෑන් රථය ගාල්කර තිබූ ආකාරය දෙස විමසිලිමත්ව බැලීමේදී මෙම සොරකමට එහි රියැදුරු සම්බන්ධවී ඇති බවට පොලිසිය සැකකර ඇති අතර, ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී චීන ජාතිකයා විසින්ම මංකොල්ලය සැලසුම් කර ලක්‍ෂ 15ක මුදලක් දී ඇති බව හෙළිවී තිබේ.

ඒ අනුව, ඔහු අත්අඩංගුවට ගෙන තවත් මහල් නිවසකට රැගෙන යෑමෙන් පසු එහි සිටි තවත් චීන ජාතිකයෙක් නීති විරෝධී දුම්වැටි 30,000ක්, දුරකථන 23ක්, ලැප්ටොප් පරිගණක 7ක්, සමග අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්න කිරීමේදී වෑන් රථය දියත උයන ආසන්නයේ නවතා, එහි සිටි කොල්ලයට සම්බන්ධ කරගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් වෑන් රථයේ රියැදුරුගේ ඥාති සහෝදරයෙක් රැගෙන පැමිණි කැබ් රථයකින් ගාල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇරලවා ඇති අතර, පසුව එම කැබ් රථය සහ එහි රියැදුරුද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජාවාරමට ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන නොමැති වී ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබුණහොත් ජාවාරම දීර්ඝ කාලයක් කරගෙන යෑමට නොහැකි වීම නිසා බව ද හෙළිවී ඇත.

ප්‍රධාන චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමත් සමග අනෙකුත් සියලු චීන ජාතිකයන් දැනුවත් කිරීම සඳහා කිසියම් තාක්‍ෂණයක් භාවිත කරන්නට ඇති බවත්, ස්ථාන කිහිපය වැටලීම් සිදුකිරීමේදී ඔවුන් සියලු දෙනා එම ස්ථානවලින් ඉවත්වීම නිසා එම සැකය මතුවන බවත්, වැටලීම සිදුකළ නිලධාරිවරයා සඳහන් කරයි.

ඔවුන්ගේ එම ජාවාරම පිලිබඳ තොරතුරු පරිගණකවලට සම්බන්ධ කර ඇති අතර, ඒවා රැගෙන යෑම නිසා තොරතුරු සොයා ගැනීමට බලවත් පරිශ්‍රයක් දැරිය යුතු බවත්, ඇතැම් විට ජාවාරමට සම්බන්ධ පිරිස් රටින් පළාගොස් සහ පළායමින් සිටිය හැකි බවත්, ඔහු පවසයි.

එම පිරිස පිළිබඳ තොරතුරු නොමැති නිසා ගුවන් තහනමක් හෝ ලබා ගැනීමේ හැකියාවක් නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 09 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.