November 25, 2026

තලවකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල, බෙයාවෙල් ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් මියගිය හඳුන් දිවියකුගේ මළසිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් හොඳින් වැඩුණු හඳුන් දිවියාගේ සිරුර සොයාගෙන තිබේ. ලිඳුල පොලීසිය විසින් අදාළ සත්ත්වයාගේ මළසිරුර හක්ගල වනජීවී කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින වනසතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා හඳුන් දිවියන්, කඳුකර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය වන වාහනවල ගැටීමෙන් නිරන්තරයෙන් මියයන බව පරිසරවේදීහු පෙන්වා දෙති. බොහෝ අවස්ථාවලදී රියදුරන්ගේ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම වටිනා වනසතුන්ගේ අකල් මරණවලට සෘජුවම වගකිව යුතු බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.