November 25, 2026

දකුණු ආසියාවේ පළමු ‘එයාර් ඩෝම්’ (Air Dome) ව්‍යුහය කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති අතර, විශේෂිත ගෘහස්ථ උත්සව ශාලාවක් වන මෙහි මෙහෙයුම් කටයුතු දෙසැම්බර් මස අගදී ආරම්භ කිරීමට නියමිතය.

පුද්ගලයින් 4,000කට පමණ එකවර අසුන් ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම පරිශ්‍රය, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, ව්‍යාපාරික හමුවීම් සහ අනෙකුත් මහා පරිමාණ උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙය පූර්ණ වශයෙන් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට පෙර තවත් ඉදිකිරීම් කටයුතු කිහිපයක් අවසන් කිරීමට නියමිතව ඇත.

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ සහ ඉඩම් සංවර්ධන හා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශාලක විජේරත්න සඳහන් කළේ, ඩුබායි ඇතුළු අන්තර්ජාතික නගරවල ක්‍රියාත්මක වන මෙවැනිම පහසුකම් ආදර්ශයට ගනිමින් මෙම ශාලාව සංවර්ධනය කර ඇති බවයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත ස්ථිර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ වැඩකටයුතු අවසන් වන තෙක්, මෙම ‘එයාර් ඩෝම්’ පරිශ්‍රය තාවකාලික උත්සව ශාලාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

සංවර්ධන සැලසුම්වලට අනුව, ඉදිකිරීමට නියමිත ස්ථිර මධ්‍යස්ථානය පුද්ගලයින් 4,000කට පහසුකම් සැලසිය හැකි බහුකාර්ය ගෘහස්ථ ශාලාවකින් සහ පුද්ගලයින් 5,000කට රැඳී සිටිය හැකි එළිමහන් උත්සව අවකාශයකින් සමන්විත වේ.

මීට අමතරව, එම සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයට යාබදව කාමර 400ත් 450ත් අතර සංඛ්‍යාවකින් යුත් තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීමට ද කොළඹ වරාය නගර ප්‍රධාන සැලැස්ම මගින් යෝජනා කර තිබේ.