November 25, 2026

ප්‍රචණ්ඩ සහ නීතිවිරෝධී මාර්ග හරහා තහනම් LTTE සංවිධානය යළි සක්‍රීය කිරීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී සිටින මුහම්මද් අස්මින් නමැති ශ්‍රී ලාංකිකයාට, කේරළ මහාධිකරණය මගින් කොන්දේසි සහිතව ඇප ලබා දී තිබේ. ඉන්දියා ටුඩේ පුවත් වාර්තා පෙන්වා දෙන පරිදි, ඔහුට එරෙහිව ඉන්දියාවේ නීතිවිරෝධීව රැඳී සිටීමේ චෝදනාවක්ද පවතින අතර, පැමිණිල්ලට සහාය වීම සඳහා රාජ්‍ය සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට ඔහු එකඟතාව පළ කර ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා LTTE ප්‍රධාන ක්‍රියාකාරීන් සමඟ එක්ව අස්මින් මෙම කුමන්ත්‍රණය මෙහෙයවා ඇති බව වාර්තා වේ. චෙන්නායි වෙරළබඩ ප්‍රදේශවල සහ රඳවුම් මධ්‍යස්ථාන කිහිපයක රහසිගත සාකච්ඡා පැවැත්වූ බවටද චෝදනා එල්ල වී ඇත.

හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික තොගයක්, AK-56 ගිනිඅවි සහ ජීව උණ්ඩ 1,000ක් සොයා ගැනීමත් සමඟ මෙම ජාලය පිළිබඳ තොරතුරු හෙළි වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මුදල් යෙදවීම, හවාලා ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී මුදල් හුවමාරුව සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් වෙනුවෙන් එම මුදල් ක්‍රිප්ටෝ මුදල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

අස්මින්ගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින්, ඔහුට කේරළ සාක්ෂිකරු ආරක්ෂණ වැඩසටහන යටතේ වහාම ආරක්ෂාව සලසන ලෙස කේරළ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ලේකම්වරයාට අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම, ඔහු දැනටමත් ගතකර ඇති සිරකාලය සහ සෙසු සැකකරුවන් කිහිපදෙනකුට ඇප හිමිව තිබීම සැලකිල්ලට ගනිමින්, ඉන්දියානු රුපියල් ලක්ෂයක ඇපකරයක් සහ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත විනිසුරු මඬුල්ල ඔහුව ඇප මත මුදා හැරීමට තීරණය කළේය.

තවද, නඩුවේ අනෙකුත් චූදිතයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම හෝ බලපෑම් කිරීම සහ මාධ්‍ය හමු පැවැත්වීම හෝ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මීට අමතරව, මෙම ඇප නියෝගය හරහා අස්මින්ට ඉන්දියාවේ රැඳී සිටීමට කිසිදු නීතිමය අයිතියක් නොලැබෙන බවත්, විදේශීය නීති රීති යටතේ ආගමන විගමන බලධාරීන්ට ඔහුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගවලට මෙය බාධාවක් නොවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.