November 25, 2026

එන්ජින් කාමරයට ජලය කාන්දු වීම හේතුවෙන් මුහුදේදී සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට රැකවරණය සලසා දීමට හම්බන්තොට අන්තර්ජාතික වරාය පියවර ගෙන තිබේ.

සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කරන ‘MV AAL Gibraltar’ නමැති මෙම නෞකාව අලුත්වැඩියා කටයුතු සඳහා මේ වන විට වරාය පර්යන්තයේ ආරක්ෂිතව නැංගුරම් ලා ඇත.

ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් රැගත් මීටර් 159.99ක් දිග මෙම නෞකාව ක්‍රියා විරහිත නෞකාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ‘SPM Arjun’ නමැති ගලවා ගැනීමේ ටග් යාත්‍රාව මගින් ශ්‍රී ලංකාව ආසන්නයට රැගෙනවිත් තිබේ. වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සහ වරාය පාලකවරයාගේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිර්දේශ මත, නෞකාව වරාය පර්යන්තය වෙත රැගෙන ඒම සඳහා හම්බන්තොට වරාය සතු ‘වරුණ’, ‘වසභ’, ‘රාවණ’ සහ ‘පණ්ඩුකාභය’ යන ටග් යාත්‍රා හතර යොදවනු ලැබීය.

මීට පෙර සති කිහිපයක් මුහුදේ රැඳී සිටි කාලය තුළ ද හම්බන්තොට වරාය විසින් මෙම නෞකාවට අක්වෙරළ සහාය මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සැප්තැම්බර් 23 වැනිදා ‘රාවණ’ ටග් යාත්‍රාව මගින් කාර්මික ශිල්පීන් සහ සැපයුම් නෞකාව වෙත රැගෙන ගිය අතර, ඔක්තෝබර් 13 වැනිදා ‘පණ්ඩුකාභය’ සහ ‘වරුණ’ යාත්‍රා පැය 14ක කාලයක් ඊට ආරක්ෂාව සැපයීය.

පසුව ඔක්තෝබර් 23 වැනිදා ‘වරුණ’ යාත්‍රාව මගින් අවශ්‍ය අමතර කොටස් ද නෞකාව වෙත සපයා තිබේ. දැනට වරායේ විශේෂ නැංගුරම් පොළක රඳවා ඇති මෙම නෞකාවේ අලුත්වැඩියා කටයුතු එහි දේශීය නියෝජිත ‘Ceyline Maritime Services’ ආයතනය විසින් සම්බන්ධීකරණය කරන අතර, නෞකාව නැවත පිටත්ව යන දිනය මෙතෙක් තහවුරු වී නොමැත.

ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික මාර්ගයේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් පිහිටා තිබීම හේතුවෙන් සමුද්‍රීය හදිසි අවස්ථාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තමන් සතු බව හම්බන්තොට වරාය පවසයි.

දිය මත අලුත්වැඩියාවන්, දිය යට සේවාවන්, ඉන්ධන සැපයුම් සහ පැය 24 පුරාම සූදානමින් සිටින ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ ටග් යාත්‍රා සේවාවන් ද වරාය සතුව පවතී. 2020 වසරේ ‘MT New Diamond’ නෞකා ගින්න මැඩපැවැත්වීමට සහ 2022 වසරේ ‘West Polaris’ නෞකාවේ හටගත් ගින්න මිනිත්තු 33ක් වැනි කෙටි කාලයකින් පාලනය කිරීමට ද හම්බන්තොට වරායේ හදිසි ප්‍රතිචාර ඒකකය සාර්ථකව දායක වී තිබේ.