February 5, 2026

සමාජ මාධ්‍ය සහ ක්‍රීඩා වේදිකාවලදී ළමුන් 459ක් අපයෝජනය කළ බවට ඕස්ට්‍රේලියානුවකුට චෝදනා එල්ලවී තිබේ.

ඕස්ට්‍රේලියාවේ සහ තවත් රටවල් 15ක ළමුන් මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවට ක්වීන්ස්ලන්ත පොලිසිය උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි මාසයේ සිට අත්අඩංගුවේ පසුවන 27 හැවිරිදි මෙම පුද්ගලයාගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල තිබී ඇති බව කියන අපයෝජනයේ වීඩියෝ සහ රූප 23,000 කට වැඩි සංඛ්‍යාවක් පොලිසිය සොයාගැනීමෙන් පසු ඔහුට වැරදි 596ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

අපයෝජනයට ලක්වූ ළමුන් 360 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව පොලිසිය සඳහන් කර ඇත.

වින්දිතයන්ගෙන් 200 කට වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වන අතර, ඉතිරි අය විදේශයන්හි, ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි කතාකරන රටවල බව පොලිසිය පවසයි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 7ත් 15ත් අතර පිරිමි ළමයින් වේ.

මෙම පුද්ගලයා 2018 සහ 2025 අතර කාලය තුළ ළමුන් ඉලක්ක කර ඇති බවත්, මාර්ගගත වේදිකා ඔස්සේ පිරිමින් සහ කාන්තාවන් ලෙස පෙනීසිටිමින් මෙම අපයෝජන සිදුකර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.