July 26, 2025

ගීත රචක සහ ජනමාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයට තමා සම්බන්ධ බව හැඟවෙන පරිදි ප්‍රකාශ කිරීමෙන් සිදුවූ අපහාසයට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වන නිර්මලා ද අල්විස්ගෙන් රුපියල් මිලියන 800ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ වන්දි නඩුව පෙත්සම්කරු විසින්ම ඊයේ (25දා) ඉල්ලා අස්කර ගත්තේය.

එම නඩුව ඊයේ (25දා) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර හඩ්සන් සමරසිංහ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මාධව රූපසිංහ කරුණු දක්වමින්, එම පෙත්සමේ විත්තිකාරිය ලෙස නම් කොට තිබූ නිර්මලා ද අල්විස් මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බැවින් නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොගොස් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා, එම නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කළේය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ තවෝද්‍යා ගමගේ පැමිණිල්ල කළ ඉල්ලීමට විරුද්ධත්වය නොදක්වන බව අධිකරණයට දැනුම්දුන්නාය.

2014.07.31 වැනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී ප්‍රේමකීර්ති ද අල්විස්ගේ 25 වැනි ගුණසමරු උත්සවය පැවැති අවස්ථාවේදී වගඋත්තරකාර නිර්මලා ද අල්විස් එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ අමතමින් ‘ජනාධිපතිතුමෙනි ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ඝාතකයා ඉන්නේ ඔබතුමාගේ ඔඩොක්කුවේ’ යැයි පැවැසූ බවත්, පෙත්සම්කරු සිය පෙත්සම මගින් දිසා අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඇගේ එම ප්‍රකාශය උපුටු දක්වමින් 2014.08.03 දින ලංකා ඉරිදා පුවත්පතේ ප්‍රවෘත්තියක් පළකොට ‘හඩ්සන් සමරසිංහ සිය සැමියා ඝාතනය කළ බව නිර්මලා චෝදනා නගයි’ යනාදී ලෙස පෙන්වාදී ඇති බවද පෙත්සම්කරු එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් දිර්ඝ කාලයක් කටයුතු කළ රටේ කීර්තියක් දිනාගත් පුද්ගලයකු වන තමාට, එකී ප්‍රකාශය හා ඒ අනුව පළ කළ ප්‍රවෘත්තිය නිසා විශාල අපහාසයක් මෙන්ම සිය කීර්තිනාමයට විශාල හානියක් සිදුවී ඇතැයි ද නීතිඥ සංජය ෆොන්සේකා මගින් 2014.10.23 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකළ එම පෙත්සම මගින් හඩ්සන් සමරසිංහ දිසා අධිකරණයට පෙන්වා දී තිබිණි.

එබැවින් සිය පෙත්සම විභාගයට ගෙන විත්තිකාරිය විසින් සිදුකළ එම ප්‍රකාශය මගින් හා එකී ප්‍රවෘත්තිය මගින් සිය කීර්තිනාමයට බලවත් හානියක් සිදු වී ඇති බවට නිගමනය කොට, එකී වන්දිය හෝ අධිකරණයට හැගෙන සුදුසු වන්දියක් විත්තිකාරියගෙන් අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ එම පෙත්සම පසුගිය 18 වැනිදා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර හඩ්සන් සමරසිංහ ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසාගේ මෙහෙයවීම යටතේ මූලික සාක්‍ෂි ලබාදී තිබිණි.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් වෙනත් විශේෂ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනීසිටින බව පෙන්වා දෙමින් එදින කනිෂ්ඨ නීතිඥවරියක කළ ඉල්ලීම අනුව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම සඳහා 2025.07.25 වැනිදා එම නඩුව කැඳවිණි.

පෙත්සම්කාර හඩ්සන් සමරසිංහ 2025.3.18 වැනිදා ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන විසින් කරන ලද නියෝගය අනුව විත්තියේ හරස් ප්‍රශ්නවලට භාජනය වීම සඳහා ඊයේ (25දා) අධිකරණය හමුවේ පෙනීසිටියේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ උපදෙස් මත නීතිඥ නවෝද්‍යා ගමගේ විත්තිය වෙනුවෙන් පෙනීසිටි අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමේධ මහවන්නි ආරච්චිගේ උපදෙස් මත නීතිඥ නිගාන් බාලසූරිය සමග නීතිඥ මාධව රූපසිංහ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටියේය.