
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ දකුණු ජෙයෝල්ලා, නාජු හි ගඩොල් කම්හලකදී සෙසු සේවකයන් විසින් ෆෝක්ලිෆ්ට් එකකට බැඳ සමච්චලයට ලක් කරනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයා එම සිද්ධිය හේතුවෙන් මාස කිහිපයකට පසුවත් කම්පනයෙන් පෙළෙන බව ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීමඑරට ජනතාවගේ දැඩි කෝපයට හේතු වූ අතර විදේශීය කම්කරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කොරියානු රජය පරීක්ෂණයක් ද ආරම්භ කළේය.
මෙම වසර මුලදී අදාළ සිද්ධියට මුහුණ දී ඇති එම ලාංකිකයා ජූංඇන්ග් ඉල්බෝ ප්‍රවෘත්ති සේවයට ඊයේ පවසා තිබුණේ ෆෝක්ලිෆ්ට් එකකට බැඳ දමා සමච්චල් කිරීමේ කම්පනය නිසා තමා තවමත් හිසරදයෙන් පෙළෙන බවයි.
සිද්ධියෙන් මාස කිහිපයකට පසු, මෙම සතියේ දී සිද්ධියට අදාළ වීඩියෝව අන්තර්ජාලය හරහා දැඩි ලෙස සංසරණය වී තිබිණි.
“ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු මට එදා දුන්නේ දැඩි වේදනාවක්. එදා මට දැනුණු කම්පනය තවමත් මට හිසරදය ගෙනෙනවා.ඒ සිද්ධියෙන් මම හරිම නින්දාවට පත් වුණා. මට ඒ ගැන හිතන්නවත් ඕන නෑ,” යැයි සේවකයා පැවසීය.
පෙබරවාරි 26 වැනි දින දහවල් ඔහු මෙම සිදුවීමට මුහුණු දී ඇත.
සුදු ප්ලාස්ටික් තහඩුවලින් ෆෝක්ලිෆ්ට් එකකට බැඳ සිටියදී සේවකයා ඉහළට ඔසවා තිබිණි.
ජියෝනාම් සංක්‍රමණික කම්කරු මානව හිමිකම් ජාලය එම සිදුවීමට අදාළ තත්පර 58ක වීඩියෝවක් නිකුත් කර තිබිණි.
සේවකයා සම්පූර්ණයෙන්ම නිශ්චලව සිටින අතර ගඩොල් ගොඩකට බැඳ ඇති ආකාරය වීඩියෝවේ පෙන්වයි.
සේවකයන් කිහිප දෙනෙකු සිනාසෙමින් ඔවුන්ගේ දුරකථනවලින් දර්ශනය රූගත කරනු ද දැකිය හැකිය.
කොරියානු භාෂාව කතා කරන එක් මිනිසෙක් ඔහුට නින්දා කරමින්, “ඔබ යම් වැරැද්දක් කළාද? ඔබ කළා කියන්න” යනුවෙන් පවසයි.
සේවකයා පැවසුවේ තමා විනාඩි පහක් පමණ ෆෝක්ලිෆ්ට් එකට බැඳ සිටි බවයි.
සේවකයා 2024 දෙසැම්බර් මාසයේදී රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ E-9 වීසා බලපත්‍රයක් මත කොරියාවට ඇතුළු වී ඇති අතර සිද්ධිය සිදු වන විට මාස තුනක පමණ කාලයක් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇත.
ජියෝනාම් සංක්‍රමණික කම්කරු මානව හිමිකම් ජාලයට අනුව, රැකියාවේදී කිසිදු වැරැද්දක් නොකළ එම සේවකයා අපයෝජනයට ලක් වී තිබේ.
ශ්‍රී ලාංකිකයකුට ගඩොල් නිසි ලෙස ඔතා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු සේවකයාට දොස් පැවරූ බව වාර්තා වේ.
හිරිහැර කිරීම දිගටම පැවතුන නිසා සේවකයා අවසානයේ උදව් සඳහා මානව හිමිකම් කණ්ඩායම අමතා ඇත.
දැනට කර්මාන්ත ශාලාවේ එම සේවකයා ඇතුළුව සේවකයන් 20 දෙනෙක් පමණ සේවය කරති.
“ඔවුන් කිසි විටෙකත් මගෙන් කෙලින්ම සමාව ඉල්ලුවේ නැහැ. ඔවුන් මාධ්‍යයට ඒ ගැන ‘කනගාටුයි’ කිව්වා විතරයි. වාචික අපයෝජනය සාමාන්‍ය දෙයක් වන ස්ථානයක වැඩ කිරීමට මට තවදුරටත් අවශ්‍ය නැහැ,” යනුවෙන් ලාංකික සේවකයා පැවසීය.
ජෙයෝනාම් සංක්‍රමණික සේවක මානව හිමිකම් ජාලය බ්‍රහස්පතින්දා නාජු නගර ශාලාවෙන් පිටත මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ලාංකික සේවකයා ද එහි සිටියේය.
“මෙම සංක්‍රමණික සේවකයාට සිදු වූ දෙය විහිළුවක් හෝ දඬුවමක් ලෙස බැහැර කළ නොහැකියි.” යනුවෙන් මානව හිමිකම් කණ්ඩායම පැවසීය.
“මෙම බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනය අහඹු පිපිරීමක් නොව කොරියානු සමාජය තුළ ගැඹුරින් මුල් බැසගත් සංක්‍රමණික සේවකයන්ට එරෙහි වෙනස්කම් කිරීමේ සහ ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතියක ප්‍රතිඵලයක්. අද වින්දිතයාගේ උපන්දිනයයි, නමුත් එය සැමරීම වෙනුවට ඔහු බියෙන් දවස ගත කරන්නේ.” යැයි ද එම කණ්ඩායම සඳහන් කළේය.
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ෆේස්බුක් හි සටහනක් තබමින් සිද්ධිය හෙළා දුටු අතර “ඕනෑම මානව හිමිකම් උල්ලංඝනයකට දැඩි ලෙස ප්‍රතිචාර දක්වනවා” යැයි ද සඳහන් කර තිබිණි.
“මට මගේ ඇස් අදහාගන්න බැරි වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක සහ සංස්කෘතික වශයෙන් බලවත් රටක් තුළ මෙවැනි අපයෝජනයක් සිදුවිය හැකි යැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ.”යැයි ඔහු සටහන් කර තිබිණි.
“මෙය සමාව දිය නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක්. සුළුතරයකට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයකුට එරෙහිව මානව හිමිකම් පැහැදිලිව උල්ලංඝනය කිරීමක්. කිසිවකු සංක්‍රමණික සේවකයකු සූරාකෑමට හෝ අපයෝජනය නොකරන බවට අපි සහතික වෙනවා. විදේශයන්හි සේවය කරන කොරියානු පුරවැසියන් අපි අගය කරනවා සේම, සංක්‍රමණික සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කරයි.
දකුණු කොරියානු පොලිසිය සහ රැකියා හා කම්කරු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කර්මාන්ත ශාලාවේ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් සේවා ස්ථාන ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම් හෝ නොගෙවූ වැටුප් පිළිබඳ වෙනත් අවස්ථා තිබේද යන්න විමර්ශනය කරන බවත් අමාත්‍යාංශය පැවසීය.
“කිසියම් නීතිමය උල්ලංඝනයන් හමු වුවහොත්, අපි දැඩි ලෙස ප්‍රතිචාර දක්වනවා. කම්කරු අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා විදේශීය සේවකයින් සේවයේ යොදවන සේවා ස්ථානවල පරීක්ෂණ ද අපි වේගවත් කරනවා,” රැකියා හා කම්කරු අමාත්‍ය කිම් යං-හූන් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart