July 24, 2025

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව 2024 වසර සඳහා රුපියක් බිලියන 3.7 ක ආදායමක් වාර්තා කර ඇති අතර ඉන් වැඩි ආදායමක් ආනයන අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම හරහා බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ 2024 කාර්යසාධන වාර්තාවට අනුව එම ආදායම 2023 වසරට සාපේක්ෂව 13% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසන්නේ, 2024 වසර තුළ ආනයන අපනයන බලපත්‍ර 17,010ක් නිකුත් කර ඇති බවයි.

වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් ලබා දී ඇත්තේ ජංගම දුරකථන, සන්නිවේදන උපකරණ සහ වෙනත් උපකරණ ආනයනය සඳහාය.

මීට අමතරව, රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක සහ කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමෙහි කැපීපෙනෙන වර්ධනයක් දක්නට තිබේ.

2024 ජූනි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමට ද එම දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී ඇත.

මෙම කාල සීමාව තුළ බඩඉරිඟු ආනයනය සඳහා ආනයන බලපත්‍ර 2,222ක් නිකුත් කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව කැපීපෙනෙන ඉහළයෑමකි.

තවද, දේශීය පරිභෝජනය සඳහා ලෙලි කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර ඇති අතර, එය 2023 වර්ෂය ඉක්මවන තවත් අගයක් බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2024 වසරේ තේ දළු ආනයනය සඳහා බලපත්‍ර 687ක් නිකුත් කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව ඉහළයෑමක් පෙන්නුම් කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි.