May 19, 2025

‘මුල්ලිවයික්කාල් සංහාරය’ සැමරීම සඳහා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල පෙළපාළි පැවැත්වී තිබේ.

එහිදී දෙමළ ජනතාව සිය ගණනක් වීදි බැස යුක්තිය ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ එක්සත් රාජධානියේ මහා පෙළපාළි පැවැත්වූ අතර මෙල්බර්න් සහ ලොව පුරා අනෙකුත් නගරවල කුඩා පෙළපාළි පැවැත්විණි.

ශ්‍රී ලංකාවට සම්බන්ධ මන්ත්‍රීවරු ඇතුළු ඇතැම් බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් වින්දිතයන්ගේ පවුල් සමඟ එක්ව ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කළහ.

දහස් ගණනක් මිනිසුන් මරා දැමූ යුද්ධයේ අවසානය සනිටුහන් වූ දිනය ලෙස ශ්‍රී ලාංකිකයෝ මැයි 18 වැනිදාව සළකති.

එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේදී, මුල්ලිවයික්කාල්හි සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බවට හමුදාවට චෝදනා එල්ල වුවත් එවක ශ්‍රී ලංකා රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එල්ටීටීඊය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බව පෙන්වා දෙමිනි.