May 2, 2025

ඕස්ට්‍රේලියාවේ සිඩ්නු නුවර වෙත දිවෙන කාර්යබහුලම අධිවේගී මාර්ගයක් ඔස්සේ ගමන් කළ ට්‍රක් රථයක් කිලෝග්‍රෑම් 750ක පමණ තියුණු ලෝහ කැබලි මාර්ගය පුරා දමා යෑමෙන් අනතුරුව මෝටර් රථ සිය ගණනක ටයර්වලට හානි සිදුව තිබේ.

යකඩ කැබලි මාර්ගයට වැටී ඇති බව දැනගන්නා විට අදාළ ට්‍රක් රථය කිලෝමීටර් 30ක් පමණ දුරක් ධාවනය කර ඇතැයි බලධාරීහු පවසති.

එම සුන්බුන් අවම වශයෙන් මෝටර් රථ 300ක පමණ ටයර්වලට හානි කිරීම හේතුවෙන් අද දිනයේදී එම මංතීරු පැය ගණනක් වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය.

ඇතැම් වාහනවල ටයර්වල විශාල කොටසක් ඉරී හෝ කැපී ගොස් ඇති බව නිව් සවුත් වේල්ස් ග්‍රාමීය ගිනි නිවීමේ සේවය පවසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පැවසුවේ, සිඩ්නි නගරයට උතුරින් පිහිටි Ourimbah අසල M1 පැසිෆික් අධිවේගී මාර්ගයේ මෙම සිදුවීම වාර්තා වූ බවයි.

පැය 10ක කාලයක් වසාදමා තිබූ අධිවේගී මාර්ගය සිකුරාදා පස්වරුවේ යළි විවෘත කෙරිණි.

ට්‍රක් රථය අයිති NJ Ashton සමාගම සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි අතර මාර්ගය පිරිසිදු කිරීමට සහාය පළකර තිබේ.

මාර්ගය පිරිසිදු කිරීමේදී ලෝහ කැබලි ආකර්ෂණය කරගැනීම සඳහා නිලධාරීන් චුම්බක භාවිත කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ මාර්ග අමාත්‍ය ජෙනී අයිචිසන් පැවසුවේ එය පෙර නොවූවිරූ තත්වයක් බවයි.

46 හැවිරිදි ට්‍රක් රථයේ රියැදුරු පරීක්ෂණවලට සහාය වෙමින් සිටි බව පොලිසිය පවසයි.