May 1, 2025

සංවිධානාත්මක අපරාධකරුවකු වන ජනිත් මධුශංක නොහොත් “පොඩි ලැසී” නමැත්තාට සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට සම්බන්ධ රන් බවට සැකකෙරෙන ස්වර්ණාභරණ තොගයක් සේප්පුවක තිබී සොයාගෙන තිබේ.

ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ පොඩි ලැසීගේ නැන්දම්මාට අයත්
බව කියන රන් භාණ්ඩ බවට සැක කෙරෙන දළ වශයෙන් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 112 ක් බරැති ස්වර්ණාභරණ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම ස්වර්ණාභරණ මිලදී ගෙන ඇත්තේ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ලබාගත් මුදල්වලින් දැයි සොයා බැලීම සඳහා එම කොට්ඨාසය මඟින් පරීක්ෂණ පවත්වයි.

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “පොඩි ලැසී” සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට ලක් කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.