March 27, 2025

මධ්‍යම උයිසොං ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි පිළිබඳව එරට වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට විමසිලිමත් වන ලෙස දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ලැව්ගිනිවලින් පීඩාවට පත් ප්‍රදේශ නැරඹීමට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබේ.

බාබකියු උපකරණ ඇතුළු දහනය කළ හැකි නිෂ්පාදන භාවිත නොකරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගෙන් ද ඉල්ලා ඇත.

ලැව්ගිනි හේතුවෙන් හදිසි අවස්ථාවක් හෝ විපතක් සිදුවන ශ්‍රී ලාංකිකයන් පහත සඳහන් දුරකථන අංක හරහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා ඇත;

(+82-2) 735 2966
(+82-2) 735 2967
(+82-2) 794 2968

දකුණු කොරියාවේ ඇති වූ ලැව්ගිනි අද(බ්‍රහස්පතින්දා) පෙර දිනට වඩා දෙගුණයකින් වැඩිවී ඇති අතර, මෙම ලැව්ගිනිවලින් අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇත.

මෙම ලැව්ගිනිවලින් ඓතිහාසික විහාරස්ථාන විනාශ වී ඇති අතර එය රටේ දරුණුතම ස්වාභාවික ලැව්ගිනි ව්‍යසනය ලෙස බලධාරීන් හඳුන්වා තිබේ.

මධ්‍යම උයිසොං ප්‍රාන්තයේ ආරම්භ වූ විශාලතම ගින්නෙන් අක්කර 81,500 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන හෝ තවමත් දැවීයමින් පවතින අතර, එය දකුණු කොරියාවේ ඉතිහාසයේ විශාලතම තනි ලැව්ගින්න බවට පත්ව ඇත.