June 6, 2024

ජනප්‍රිය විකට චරිත වන ඩෙඩ්පූල් සහ මෙගාමයින්ඩ් ඇතුළු විවධ චරිත ප්‍රයෝජනයට ගනිමින් මහජන ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපාරය යටතේ එක් සමාජ මාධ්‍ය පළ කිරීමක යතුරුපැදිකරුවන් සඳහා හිස්වැසුම් ආරක්ෂාවේ වැදගත්කම අවධාරණය කිරීමට ඩෙඩ්පූල්(Deadpool) භාවිත කර ඇති අයුරු දැකගත හැකිය.

හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් පැදවීමට පෙර දෙවරක් සිතා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින පෝස්ටුවේ “ඔබ ඩෙඩ්පූල් නොවේ” යනුවෙන් සඳහන් කර ඇත.

තතුබෑම් වංචාවල අන්තරායන් ඉස්මතු කිරීමට මෙගාමයින්ඩ් (Megamind) යොදාගනිමින් තවත් පෝස්ටුවක් සකස්කර ඇත.

එහි සඳහන් වන්නේ, “ඔබ මෙගාමයින්ඩ් නොවේ, එබැවින් ක්ලික් කිරීමට පෙර සිතා බලන්න”, යනුවෙන් සඳහන් කර අන්තර්ජාල වංචාවන්ට එරෙහිව අවදියෙන් සිටින ලෙස මහජනතාවට අවවාද කර තිබේ.

සුරක්ෂිත මුරපද යෙදීමේ වැදගත්කම පෙන්වීම සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ අයන් මෑන්(Iron man)චරිතය වන අතර එමගින් ප්‍රකාශ කර ඇත්තේ අයන් මෑන් කිසිවිටෙක අනාරක්ෂිත මුරපද භාවිත නොකර බැවින් අයන් මෑන් අයුරින් සුරක්ෂිතව කටයුතු කරන ලෙසයි.