June 6, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් තමන් සතුව පවතින බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වෙනත් පක්ෂවල සහාය අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා තිබේ.

සිය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අවම වශයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ සහය ලබා ගෙන පෙන්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට කාල සීමාවක් ලබා දී ඇති බව මෑත කාලීනව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඔහු මෙම සහයෝගය ලබා ගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා තමන්ගේම අපේක්ෂකයකු නම් කිරීමට කටයුතු කරන බව වාර්තා විය.

මේ අතර ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපවී සිටින බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.

“අපගේ ස්ථාවරය ඉතා පැහැදිලියි; අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපතිවරණය දිනනවා. ඒ සඳහා විවිධ පක්ෂවල සහයෝගය අවශ්‍ය නැහැ. අපි ජනතාව විශ්වාස කරනවා, අපි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා, අපේ කුසලතා මත අපි ජයග්‍රහණය කරනවා. නමුත් අපේ අපේක්ෂකයා කවුද කියලා අපි තවම තීරණය කරලා නැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපති වික්‍රමසිංහට සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති අතර තවත් සමහරුන්ගේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.

කෙසේවෙතත්, ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් එහි ඇතැම් සාමාජිකයන් පළ කරන අදහස් ඔවුන්ගේ පෞද්ගලික අදහස් පමණක් බවත්, බිම් මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳ පුළුල් ඇගයීමක් සහ සමීක්ෂණයක් සිදුකර පක්ෂයක් ලෙස තීරණයකට එළඹෙන බවත් කාරියවසම් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.