April 23, 2024

ගෙවුණු වසරක කාලයේදී ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා යන බෝට්ටු කිසිවක් නිරීක්ෂණය වී නොමැති බව ඕස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකායේ සබ්මැරීන් දේශසීමාවේ ප්‍රධානියා වන මාර්ක් වයිට්චර්ච් පවසයි.

සමුද්‍රීය වටපිටාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක ප්‍රයත්නයක් ලෙස ‘දිසි රැළ’ නම් මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

‘මුහුදු පරිසරය ගැන විමසිල්ලෙන් සිටීම’ යන අරුත ඇති මෙම සහයෝගීතා ප්‍රයත්නය යටතේ දික්ඕවිට සිට හලාවත දක්වා ප්‍රදේශය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව සතියක කාලයක් ආවරණය කරන වැඩසටහනක් ද සංවිධාන කර තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් වයිට්චර්ච් පැවසුවේ මිනිස් ජාවාරම් වැනි සංකීර්ණ තර්ජන සඳහා සංකීර්ණ සහ ඒකාබද්ධ විසඳුම් අවශ්‍ය බවයි.

එය ප්‍රජා මැදිහත්වීමෙන් ආරම්භ වන අතර, අදාළ ඕනෑම තොරතුරක් ප්‍රජා ක්ෂණික ඇමතුම් අංකය වන 041-7501400 වෙත වාර්තා කළ හැකිය.

එවැනි අපරාධ ඵලදායි ලෙස මැඩලීමට අවශ්‍ය මඟ පෙන්වීම් එක්රැස් කිරීමේදී ප්‍රජා ඉඟි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

“අපගේ ප්‍රවේශය බහුවිධ සහ සහයෝගීතාවයෙන් යුක්ත වන අතර, ප්‍රජා සහභාගීත්වය, දැනුවත් කිරීම, උපාය මාර්ගික සන්නිවේදනය, බුද්ධි තොරතුරු බෙදාගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ අනුව, පසුගිය වසර පුරා, ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කරන කිසිදු බෝට්ටුවක් අප නිරීක්ෂණය කර නැහැ,” යනුවෙන් ද මාර්ක් වයිට්චර්ච් පවසයි.