January 19, 2024

බුදු පිළිමය කළුගලින් නෙළා ඊට දෑස් ලබාදී සුවහසක් දෙස් – විදෙස් බෞද්ධ ජනයාගේ සිත් නිවීමට වසර 30කට අධික කාලයක් වෙහෙස වූ ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන ගණනාවකින් ඇගයීමට ලක්වූ අබ්දුල් වාහිඩ් ගල්වඩුවාගේ එක් ඇසක් ප්‍රමිතියෙන් බාල බෙහෙත් නිසා සදහටම අන්ධ වී ගියේය.

ඉස්ලාම් භක්තිකයකු වූ අබ්දුල් වාහිඩ් කුඩා අවධියේ පටන් බුදු පිළිමයට පෙම් බැන්දේය. තමන් අනුරාධපුර පූජා නගරයේ උත්පත්තිය ලැබුවේ පෙර ආත්මවල කරන ලද මහා පුණ්‍යකර්මවල බලය නිසා යැයි ඔහු පැවැසූ වාර අනන්තය. ඔහු නිතර ගැවසුණේ සමාධි පිළිම වහන්සේ අසලය. සමාධි පිළිම වහන්සේ දෙස බලා සිටීමෙන් අබ්දුල් ඉමහත් සැනසීමක් ලැබුවේය.

අනුරාධපුර පූජා නගරයේ නටබුන් අතර වූ මුරගල්, කොරවක්ගල්, සඳකඩපහණ ආදී පැරැණි කැටයම් අතරේ අබ්දුල්ගේ සිත තදින් බැඳී ගියේය. ඔහු ඒ දෙස බලා මැටියෙන් හා ලීයෙන් ඒවායේ අනුරූ නිර්මාණය කරන්නට විය. ඊටම සරිලන සේ දෛවෝපගතව අබ්දුල් වාහිඩ්ට පූජා නගරයේම රැකියාවක් ලැබිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරු රැකියාවේ ඉතා ආශාවෙන් හා උනන්දුවෙන් නියැළුණු අබ්දුල්ට දවසේ වැඩි කාලයක් බුදු පිළිම හා වෙනත් දේව ප්‍රතිමා සමඟ රාජකාරී කිරීමට සිදුවිය. ඒවායේ නිර්මාණ තාක්ෂණය හොඳින් අධ්‍යයනය කළ ඔහු ඒ සම්බන්ධ පොතපතද පරිශීලනය කළේය. එමතුද නොව අතීත නිර්මාණකරුවන්ගේ ප්‍රතිමා නිර්මාණ මූලධර්ම පිළිබඳව ආයතනයේ උසස් නිලධාරීන්ගේ ගුරුහරුකම් ලබාගැනීමටද ඔහුට හැකි විය.

ඒ අනුව අබ්දුල් වාහිඩ් ඉතා කෙටි කලෙකින් ප්‍රතිමා නෙළීම ආරම්භ කළේය. මුලදී කඩදාසි පල්ප හා සිමෙන්ති ආදියෙන් පිළිම නෙළූ ඔහු පසුව කළුගලින් ප්‍රතිමා නෙළීම ආරම්භ කළේය. ඒ සඳහා රජයේ නීත්‍යනුකූල අවසරයද ලබාගත්තේය. ඔහුගේ ආයුධ වූයේ කටුව හා මිටිය පමණි. බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, මුරගල් පමණක් නොව ඉසුරුමුණි පෙම් යුවළ ආදී කලාත්මක නිර්මාණද ඔහුගේ කටුවෙන් හා මිටියෙන් පණගැන්විණි. කෙටි කලෙකින් ‘රජරට ගල්කැටයම්’ රජරට ජනයා අතර ප්‍රසිද්ධ විය. ප්‍රාදේශීය සභා හා පළාත් සභා තරගවලින් පමණක් නොව සමස්ත ලංකා නිර්මාණ තරගවලින්ද අබ්දුල් වාහිඩ් ජය ලැබීය.

පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද 2023 ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙලේ පාෂාණ මූර්ති අංශයේ විශේෂ කුසලතා සම්මානයක් හිමිකරගැනීමට අබ්දුල් වාහිඩ් ගල්වඩුවා සමත් විය.

එහෙත් පසුගිය වසරේ මේ අති විශිෂ්ට ගල්වඩුවාගේ අභාග්‍ය සම්පන්න කාලය උදාවිය. අදූරදර්ශී සෞඛ්‍ය බලධාරීන්ගේ නොමනා ක්‍රියාදාමයන් නිසා දෙනෙත් අහිමි වූ රෝගීන් අතරට අබ්දුල් වාහිඩ් ගල්වඩුවාටද එකතුවන්නට සිදුවිය. ඇසක සුළු ආබාධයකට ප්‍රතිකාර ගැනීමට අනුරාධපුර මහ රෝහලට ගිය අබ්දුල්ට සිදු වූයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරමේ ගොදුරක් වීමටය. එහි ප්‍රතිඵලය වූයේ අබ්දුල් ගල්වඩුවාට එක් ඇසක් අහිමිවීමය. තමන්ගේ එක් ඇසක් සදහටම අන්ධ වීම ගැන අබ්දුල් පැවැසුවේ මෙවැන්නකි.

”පහුගිය අවුරුද්දේ මැද හරියේ මගේ ඇහැක පොඩි අමාරුවක් ආවා. අනුරාධපුරේ මහ ඉස්පිරිතාලෙට ගියා. එහෙන් බෙහෙත් කළා. ඉන්ජෙක්ෂන් ගැහුවා. ඒ වුණාට හර් ගියේ නෑ, හුඟක් මැෂින් කැඩිලා කීවා. බෙහෙත් නෑ කීවා. මට තුණ්ඩුවක් ලියලා දීලා කීවා අනුරාධපුර ටවුමෙ පෞද්ගලික තැනක් තියෙනවා එතෙන්ට යන්ඩ කියලා. එතෙන්ට ගියාම ඉස්පිරිතාලෙ මගෙ ඇස් බලපු දොස්තර මහත්තයම තමා එතෙන්ටත් ආවේ. එතැනින් බෙහෙත් කළා. හරි ගියේ නෑ. එන්ඩ එන්ඩ ඇහේ පෙනීම අඩුවුණා. එතැනින් ඒ ගොල්ලො ටවුමෙ තව පෞද්ගලික ඉස්පිර්තාලෙකට මාව යැව්වා. එතැනිනුත් බෙහෙත් කළා. වැඩක් වුණේ නෑ. අනිත් ඇහැත් ටික ටික දුර්වල වුණා. සල්ලි ගොඩක් වියදම් වුණත් මගේ ඇහේ පෙනීම නැතිවෙලාම ගියා. දොස්තර මහත්තුරු කීවේ මට දුන්නු බෙහෙත් ගෙනැල්ලා තියෙන්නෙ ඉන්දියාවෙන්. ඒවා බාල බෙහෙත් කියලා. දැන් මගෙ එක ඇහැක් පොඩ්ඩක්වත් පේන්නෙ නෑ, අනික් ඇහැ යාන්තම් පේනවා. බුදු පිළිම වහන්සේට ඇස් දුන්නු මට අද මගේ ඇහැ පේන්නෙ නෑ. මට දැන් වයස අවුරුදු 76ක්. පෙනීම දුර්වල හින්ද මගේ අතින් අල්ලගෙන මට ඕනෑ තැන්වල එක්ක යන්නේ මගේ මුනුපුරා.” අබ්දුල් වාහිඩ් ගල්වඩුවා කදුළු පිරි දෑසින් එසේ පැවැසුවේ අඩක් නිමකර ඇති බුදු පිළිම වහන්සේ දෙස විටින් විට බලමිනි.(මව්බිම)