December 15, 2023

අවුරුදු 15ක බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩත්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසළකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්. අබේරත්න රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළ අතර විදුහල්පතිනිය ඊයේ (14) විනිසුරුවරයා ඉදිරියේ එම මුදල ගෙවා ඇත.

ඊට අමතරව, රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක් ගෙවන ලෙසත්, නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් මාස තුනක සුළු වැඩ සහිත සිරදඬුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද විනිසුරුවරයා නියමකර තිබේ.

මෙසේ දඬුවම් නියම වූයේ දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනිය වූ සරෝජිනී නිරිමලා කොතලාවල නම් වූ අයටය.

2013 ජූනි මස 26 හෝ ආසන්න දිනයකදී දොඩන්ගොඩදී එවකට බාලවයස්කාර දරුවකු වූ තොටවත්ත බණ්ඩාරගේ ඉෂාර ජගත් නම් වූ සිසුවා කෲරත්වයට පත්කරන ලදැයි කියමින් නීතිපතිවරයා ඇයට එරෙහිව ගොනුකර ඇත.

දොඩන්ගොඩ පොලිසිය මගින් එම වසරේ පොසොන් උත්සවය නිමිතිකොට තුඩුගල හන්දියේ පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවත්, දොඩන්ගොඩ නවෝද්‍යා විද්‍යාලය නියෝජනය කරමින් මෙම සිසුවා ඉදිරිපත් කළ බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී ඇති බවත්, නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.

එම වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබාගත් පසු එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් කියමින් විදුහල්පතිනිය එම තෑගි එතැනදීම ලබාගෙන ඇත.

ඉන්පසු ඇය තමාට එම ජයග්‍රාහී තිළිණ ලබාගැනීමට ඉඩ නුදුන් බව පවසමින් පාසලේදී ප්‍රසිද්ධියේ පහරදී ඇති බවත්, සෙසු ගුරු මහත්ම මහත්මීන් පවා නොසළකා හැර ඇති බවත්, දරුවාට තමන් කැමැත්තෙන් සිටි තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස්පෙළ කිරීමට නොහැකි වූ බවත්, නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.

මෙම දඩ හා සිරදඬුවම් නියම කළ හැකි වරදක් වුවද, චූදිත විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම, 2016 හා 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රථිපල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29ක සේවා කාලය තුළදී සිදුකර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරදි සිදු නොකරන බවට පොරොන්දුව සළකාබලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කර ඇත.(ලංකාදීප)