
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිදු වී යැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු එම රෝහලේ ගණකාධිකාරිවරයා හා සහකාර ගණකාධිකාරිවරිය ඇතුළු හත්දෙනකු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගෙන් අයකරගන්නා ලක්ෂ ගණන් මුදල්වලට රෝහලෙන් ලබාදෙන 20% ක විශේෂ වට්ටම් මුදල මෙලෙස එම රෝහලේ ගිණුම් අංශයේ හිටපු ගණකාධිකාරිවරයා ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වංචා සහගත ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් කාලය පුරා විමර්ශන පැවැත්වීය.
එම වංචාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය රෝගීන් විශාල සංඛ්‍යාවක් ඇතුළු දෙසීයක් පමණ දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
යම් රෝගියෙක් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසිකව සිට පිටවී යන අවස්ථාවේ ඒ වෙනුවෙන් රෝහලට ගෙවිය යුතු සම්පූර්ණ බිල ගෙවිම සිදු කළ යුතු අතර, රෝහලෙන් ලබාදෙන විශේෂ වට්ටම ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ පසුව එය ලබාදීම එම රෝහලේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන බව ආරංචි මාර්ග කියයි.
එම විශේෂ වට්ටම පිළිබඳ බහුතරයක් රෝගීන්ගේ නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගෙන ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් රෝහලේ නේවාසිකව සිටි රෝගියා හෝ සමීප ඥාතියා එම විශේෂ වට්ටම ඉල්ලා ඉදිරිපත් කළ ලිපියක් ආකාරයෙන් කූට ලේඛන සකසා වසර ගණනාවක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී ඇත.
විශේෂ වූ වට්ටම් මුදල් ලබාදී ඇත්තේ පෙටි කෑෂ් (සුළු වියදම් සඳහා වෙන්කර තිබෙන මුදල්) මුදල්වලිනි.
එම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වූ සැණින් ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයා ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු සේවයෙන් ඉවත්කර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබිණි.
සැකකරුවන් සහ සැකකාරියක් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට පත්වූවෝ කඳාන සහ රාගම අවට පදිංචිකරුවෝය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart