November 29, 2026

‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරමින් මහව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බලරහිත කර ඔවුන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව, දෙසැම්බර් 14 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට නියම කර ඇත.

ගල්ගමුව වනජීවී අඩවි ආරක්ෂක සමන් ලියනගමට සහ නීතිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එල්.පී. සමරකෝන් සහ එස්.ඩී. රත්නායක යන සැකකරුවන් දෙදෙනාගේ බිරින්දෑවරුන් විසින් ගොනු කරන ලද මෙම ප්‍රතිශෝධන අයදුම්පත් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව විජයපාල කරුණු දැක්වීය.

හස්තියාට වෙඩි තැබූ සැබෑ වෙඩික්කරුවන් තවමත් නිදැල්ලේ පසුවන බවත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අඩංගු කරුණු මගින් ද තහවුරු වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජයපාල අධිකරණය හමුවේ තර්ක කළේය.

හස්තියාගේ දකුණු පාදයට වෙඩි තැබූ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වා දුන් ඔහු, පාදයේ තුවාලය සඳහා ප්‍රතිකාර ලැබීමෙන් පසු හස්තියා සාමාන්‍ය පරිදි සැරිසරමින් සිට ඇති බවත්, ඊට දින කිහිපයකට පසු හස්තියාගේ උදර ප්‍රදේශයට වෙඩි තබා ඇති බවත් සඳහන් කළේය.

හුළුගල්ලාව ප්‍රදේශයේදී හස්තියාගේ පාදයට වෙඩි තැබීමේ සිද්ධියක් සිදුව නොමැති බව වාර්තා සහ විමර්ශන මගින් තහවුරු වී ඇති බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය. මෙම වෙඩි තැබීම මීගලෑව හෝ වළගම්බාපුර යන ප්‍රදේශයක සිදුව ඇති බැවින් සැකකරුවන්ට මෙම සිද්ධිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද ඔහු පැවසීය.

මේ අතර, මෙම සිද්ධියට අදාළව සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් ලබන 9 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

එමෙන්ම, කාවන්තිස්ස හස්තියාගේ වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ වාර්තාවක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න නියෝග කළාය.

හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට නියම කළාය.

තවද, හස්තියාට වෙඩි තැබීම සම්බන්ධයෙන් මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව සහ හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව යන නඩු දෙකම එකම මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කිරීම සඳහා ඒවා ඒකාබද්ධ කිරීම පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස ද ඇය වැඩිදුරටත් උපදෙස් දුන්නාය.

මෙම නඩුවේදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ පෙනී සිටි අතර, පරිසර හා අලි ඇතුන් සංරක්ෂණ සංවිධාන වෙනුවෙන් නීතිඥ විජිත වික්‍රමනායක, සඳගිරි බණ්ඩාර සහ රවීන්ද්‍ර ඉරුගල් බණ්ඩාර පෙනී සිටියහ.