November 29, 2026

දිට්වා සුළිකුණාටුවෙන් පසු ‘Rebuilding Sri Lanka අරමුදල’ හරහා දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රැස්කරන ලද රුපියල් බිලියන 11ක අතිවිශාල මුදලක් කිසිදු භාවිතයකට නොගෙන තවමත් එලෙසම පවතින බවත්, රජය විසින් එම අරමුදල් තවමත් නිදහස් කර නොමැති අතර එහි වියදම් කටයුතු 2027 වසරේදී පමණක් ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ‘ද සන්ඩේ මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

අදාළ අරමුදල් වෙන්කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති රජය විසින් හඳුනාගෙන තිබුණද, මේ දක්වා එම පරිත්‍යාගවලින් එකදු රුපියලක් හෝ භාවිත කර නොමැති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු තහවුරු කර ඇත.

‘ද සන්ඩේ මෝනිං’ පුවත්පත සමඟ අදහස් දක්වමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා අනාවරණය කර ඇත්තේ, පරිත්‍යාග මුදල් භාවිත කිරීම පිළිබඳ කැබිනට් තීරණය ලැබී ඇත්තේ ඉතා මෑතකදී බවත්, පශ්චාත් ආපදා ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මේ දක්වා සිය ස්වකීය අරමුදල් මත පමණක් විශ්වාසය තබා කටයුතු කර ඇති බවත්ය.

“රජය සතුව ප්‍රමාණවත් තරම් මුදල් තිබෙනවා, රජය ඒවා භාවිත කරමින් සිටිනවා. එම නිසා පරිත්‍යාග මුදල්වලින් තවමත් කිසිවක් වියදම් කර නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාට අනුව, ඇස්තමේන්තුගත රුපියල් බිලියන 11ක මුදලට හඳුනාගත් සහ නිර්නාමික පරිත්‍යාගශීලීන් ඇතුළු දේශීය හා විදේශීය දායකයන්ගේ පරිත්‍යාග ඇතුළත් වේ. කෙසේවෙතත්, මෙම සංඛ්‍යාව තාවකාලික ඇස්තමේන්තුවක් පමණක් වන අතර එය අවසන් ගිණුම් වාර්තාවක් නොවන බව ඔහු සඳහන් කර ඇත.

මෙම පරිත්‍යාග මුදල් ආපදාවට පත් පවුල් සඳහා සෘජු මූල්‍ය ආධාර ලබා දීම වෙනුවට, සුළිකුණාටුවෙන් හානි වූ රෝහල් සහ පාසල් ඇතුළු පොදු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන්කර ඇත.

රේඛීය අමාත්‍යාංශ විසින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා මත පදනම්ව මෙම ව්‍යාපෘති හඳුනාගෙන ඇති බවත්, අනතුරුව එම දෙපාර්තමේන්තුව විසින් අරමුදල් අවශ්‍ය ව්‍යාපෘති ලැයිස්තුවක් රජයට ලබා දී ඇති බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා පැහැදිලි කර තිබේ.

හඳුනාගත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් නිශ්චිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සමඟ සම්බන්ධ කිරීමට ද රජය අපේක්ෂා කරන අතර, එමඟින් අදාළ කටයුතුවල ප්‍රගතිය සහ ඔවුන්ගේ පරිත්‍යාග භාවිතා වන ආකාරය අධීක්ෂණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.

“අපි පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් අදාළ ව්‍යාපෘති සමඟ සම්බන්ධීකරණය කරනවා. අපි හඳුනාගත් පරිත්‍යාගශීලීන් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ දායකත්වයෙන් අරමුදල් සපයන නිශ්චිත ව්‍යාපෘතිය පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරන අතර එහි ප්‍රගතිය අධීක්ෂණය කරනවා” ඔහු පවසයි.

මේ අතර, පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ඇතුළුව සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් සඳහා ලබා දෙන මූල්‍ය ආධාර, පවතින චක්‍රලේඛ හා රෙගුලාසිවලට අනුකූලව රජයේ අරමුදල් හරහා වෙනමම ලබාදෙන බව ඔහු පැහැදිලි කර ඇත.

“ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල භාවිතා කරමින් විපතට පත් පවුල් වෙත සෘජුවම මූල්‍ය ආධාර ලබාදෙන්නේ නැහැ. මන්ද රජය දැනටමත් මහජන මුදල් භාවිතා කරමින් ඔවුන්ට යම් සහන පැකේජ ලබා දී ඇති බැවින්” ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ විෂය පථය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දේශීය හා අන්තර්ජාතික මූල්‍ය දායකත්වයන් එක්රැස් කිරීම වෙනුවෙන්, දිට්වා සුළිකුණාටුවෙන් පසු රජයේ ප්‍රතිසාධන වැඩපිළිවෙළේ කොටසක් ලෙස Rebuilding Sri Lanka අරමුදල’ පිහිටුවන ලදී.