November 23, 2026

කොළඹ වරායේ සිදු වූ ඩීසල් කාන්දුව හේතුවෙන් ඇති වූ පාරිසරික හානිය තක්සේරු කර, ඊට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් වන්දි අයකර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.

2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර, මුතුවැල්ල වෙරළ තීරයට සිදු වී ඇති පාරිසරික හානිය පිළිබඳව පූර්ණ ඇගයීමක් සිදු කරන බව එම අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ අතර, තෙල් කාන්දුවෙන් වෙරළ පරිසරයට සිදු වී ඇති බලපෑම පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂ කණ්ඩායමක් අද මුතුවැල්ල වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මුහුදට ගලා ගිය ඉන්ධන ප්‍රමාණයෙන් 95%ක් පමණ මේ වන විටත් සාර්ථකව පාලනය කර ඇති බවත්, තවදුරටත් සාගරය දූෂණය වීම වැළැක්වීමට සහ බලපෑමට ලක් වූ වෙරළ තීරය යථාතත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත් එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

කොළඹ වරායේ Jaya Container Terminal (JCT) අංක 108 දරන ඉන්ධන ගබඩා ටැංකියෙන් සිදු වූ ඩීසල් කාන්දුවක් හේතුවෙන් පසුගිය නොවැම්බර් 21 වැනිදා මෙම පාරිසරික හානිය සිදු විය.