November 19, 2026

අද අලුයම කඩුවෙල විදුලි උපකරණ වෙළඳසැලක හටගත් ගින්නෙන් අඹුසැමි යුවළකට සහ ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනාට දිවි අහිමි වීමේ සිද්ධියට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට සැක පළ කෙරෙන බව වාර්තා වේ.

ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති වුවද, විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙන සාක්ෂි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා පවසයි.

කඩුවෙල නගරයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ වෙළඳසැලක අද අලුයම 5.30ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.

මාලබේ, තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මෙම යුවළ, විදුලි උපකරණ වෙළඳසැල පවත්වාගෙන යාම සඳහා අදාළ ගොඩනැගිල්ල කුලියට ගෙන තිබූ අතර, ඔවුන් සිය දරුවන් දෙදෙනා ද සමඟ එහි ඉහළ මහලේ පදිංචිව සිට ඇත.

පෙරදින සිය ව්‍යාපාරික කටයුතු අවසන් කිරීමෙන් පසු මෙම පවුලේ පිරිස ඉහළ මහලේ නින්දට ගොස් සිටියදී ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගොඩනැගිල්ල පුරා ගින්න පැතිර යාමත් සමඟ පවුලේ සාමාජිකයින් සිව්දෙනා ඉහළ මහලේ සිරවී තිබේ.

ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව ඔවුන් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පියා, ඔහුගේ 28 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු පහක් සහ අවුරුදු දෙකයි මාස නවයක් වයසැති ඔවුන්ගේ දියණියන් දෙදෙනා බව පොලිසිය තහවුරු කළේය. මෘත දේහයන් මේ වන විට මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ගින්නට නිශ්චිත හේතුව සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.