November 11, 2026

ශ්‍රී ලංකාවේ 2025 අයවැය යෝජනාවලින් ආසන්න වශයෙන් 40% ක් පමණ සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ PublicFinance.lk වෙබ් අඩවිය මගින් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කෙසේ වෙතත්, සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලද අයවැය පොරොන්දු ප්‍රතිශතය 2017 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම අගයට ළඟා වී ඇත.

එක් යෝජනාවකට අවම වශයෙන් රුපියල් මිලියන 500 කට වඩා වෙන් කර තිබූ, මුළු වටිනාකම රුපියල් බිලියන 212.25 ක් වූ 2025 අයවැයේ ඉහළ පිරිවැයක් සහිත යෝජනා 36 ක් ඇසුරෙන් මෙම සමාලෝචනය සිදුකර තිබේ.

එම සමාලෝචන වාර්තාවට අනුව:

සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ යෝජනා: 33% (යෝජනා 12 ක්)

සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වූ යෝජනා: 8% (යෝජනා 3 ක්)
(ඒ අනුව මෙම කාණ්ඩ දෙකෙහිම එකතුව 41% කි.)

පාර්ශවිකව (කොටසක් පමණක්) ක්‍රියාත්මක වූ යෝජනා: 22% (යෝජනා 8 ක්)

දුර්වල ප්‍රගතියක් සහිත යෝජනා: 14% (යෝජනා 5 ක්)

ඉටු නොකළ (කඩකළ) පොරොන්දු: 3% (යෝජනා 1 ක්)

තොරතුරු අනාවරණය නොකළ යෝජනා: 19% (යෝජනා 7 ක්)

ප්‍රගතිය අනාවරණය නොකළ යෝජනා හැර බැලූ විට, සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට අපොහොසත් වූ අයවැය යෝජනා ප්‍රමාණය 39% ක් පමණ වේ.

මීට පෙර 2024 වසරේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර තිබුණේ අයවැය යෝජනාවලින් 17% ක් පමණි. එහෙත් 2025 වසර වන විට එය 33% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය 2017 වසරේ සිට මෙම අධ්‍යයනයන් ආරම්භ කළ පසු වාර්තා වූ ඉහළම ප්‍රතිශතයයි.