November 2, 2026

එකම දිනයක ප්‍රසිද්ධියට පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශ දෙකක් මේ වන විට දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ අවධානයට ලක්විය යුතු කරුණක් මතුකර තිබේ. ඒ, රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රටේ ප්‍රධාන තීරණාත්මක තනතුරු දෙකක් දරන පුද්ගලයන් දෙදෙනකු පරස්පර අදහස් ඉදිරිපත් කරන්නේද යන ප්‍රශ්නයයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් කිසිදු බද්දක් පනවා නොමැති බවත්, ඉදිරි අයවැයේදී රටේ ආදායම් ඉලක්කවලට බාධාවක් නොවන පරිදි තවත් බදු ප්‍රමාණයක් අඩුකිරීමට අපේක්ෂා කරන බවත්ය. එමෙන්ම පෙර පැවැති පාලනයන් විසින් පනවා තිබූ බදු කිහිපයක් දැනටමත් අඩු කර ඇති බවත්, රට ක්‍රමයෙන් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මේ බව පැව­සුවේ මාලි­ගා­වත්ත පී. ඩී. සිරි­සේන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැති ජාතික විද්වත් සංවි­ධා­නයේ ජාතික සමු­ළුව පෙරේදා (31) අම­ත­මිනි.

එහෙත් මහ බැංකු අධිපතිවරයා කැළණිය විශ්වවිද්‍යාලයේ වැඩසටහනකට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශය ඊට වෙනස් දිශාවකට යොමුවූවකි. ඔහු පවසන්නේ ජනප්‍රිය නොවන තීරණ වුවද ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැනීමට සිදුවන බවයි. බදු ඉහළ නැංවීම වැනි තීරණ ජනතාවගේ විරෝධයට හේතු විය හැකි නමුත් රටේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඒවා අත්‍යවශ්‍ය විය හැකි බව ඔහු අවධාරණය කරයි.

මෙහිදී මතු වන මූලික ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා බදු අඩුකිරීමේ අපේක්ෂාවක් ප්‍රකාශ කරන මොහොතක මහ බැංකු අධිපතිවරයා බදු වැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නේ ඇයිද යන්නයි.

ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශ දෙක අතර සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් තිබේද යන්න විමසා බැලිය යුතුය. මන්ද රජයක් බදු අඩු කිරීමට උත්සාහ කරන අතරම ආදායම් ඉලක්ක ආරක්ෂා කර ගැනීමට වෙනත් ක්‍රම සොයාගත හැකි බැවිනි. එසේම මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සෑම බද්දක්ම වැඩි කළ යුතු බවට කරන නිර්දේශයක් ලෙසද සරලව අර්ථ දැක්විය නොහැකිය.

කෙසේවෙතත්, මෙහි දේශපාලන වැදගත්කම නොසලකා හැරිය නොහැකිය. ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ බදු සහන ලබාදීමේ අපේක්ෂාවක් ඉදිරිපත් කරන විට මහ බැංකු අධිපතිවරයා බදු වැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමෙන් රජයේ ආර්ථික පණිවුඩය පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති විය හැකිය. විශේෂයෙන්ම බදු බරින් පීඩාවට පත්ව සිටින ජනතාව අතර මෙවැනි පරස්පර අදහස් රජයේ අනාගත ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සැකයක් ඇති කිරීමටද ඉඩ තිබේ.

එසේ නම් මෙය හුදෙක් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වෙනස් විග්‍රහ දෙකක් පමණක්ද? නැතහොත් මහ බැංකු අධිපතිවරයා දේශපාලන වශයෙන් රජය අපහසුතාවට පත් කළ හැකි පණිවුඩයක් සමාජගත කරන්නේද?

එවැනි චේතනාවක් ඇතැයි තීරණය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත. මහ බැංකුවේ ස්වාධීනත්වය සහ එහි වෘත්තීය වගකීම අනුව අධිපතිවරයාට රජයේ ජනප්‍රිය දේශපාලන ස්ථාවරයට වෙනස් ආර්ථික මතයක් දැරීමට අයිතියක් මෙන්ම වගකීමක්ද තිබේ. එහෙත් එම ස්වාධීනත්වය රජයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඇති සම්බන්ධතාව පැහැදිලි කිරීමේ වගකීමෙන් ඔහු නිදහස් නොකරයි.

අනෙක් අතට ජනාධිපතිවරයාද බදු අඩු කිරීමේ පොරොන්දුව ඉදිරිපත් කරන්නේ කුමන ආර්ථික පදනමක් මතද, එමගින් රජයේ ආදායමට ඇතිවන බලපෑම පියවා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය වන්නේ එකිනෙකට වෙනස් පණිවුඩ නොව පැහැදිලි හා විශ්වාසදායක වැඩපිළිවෙළකි. ජනාධිපතිවරයා බදු අඩු කරන බව කියන අතර මහ බැංකු අධිපතිවරයා බදු වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන්නේ නම්, ඒ දෙක අතර ඇති සම්බන්ධය පැහැදිලි කිරීමේ වගකීම රජයටත් මහ බැංකුවටත් තිබේ.

එසේ නොවුණහොත් ප්‍රශ්නය බදු වැඩි කිරීමද අඩු කිරීමද යන්න පමණක් නොව, රටේ ආර්ථිකය මෙහෙයවන්නේ එකඟ වූ ප්‍රතිපත්තියක් අනුවද යන්න බවට පත්වනු ඇත.